Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 17:45:56 Hours

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ ඉන්දියානු රණවිරුවන් සිහිපත් කෙරේ

වර්ෂ 1987 සිට 1990 කාලය තුළ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේ ‘පවන් මෙහෙයුම’ ඇතුළු අනෙකුත් මෙහෙයුම් සඳහා එක් වූ ඉන්දීය සාම සාධක හමුදා සාමාජිකයින් අතරින් දිවිපිදූ රණවිරුවන්ගේ අමරණීය පරිත්‍යාගයන් සිහිපත් කරමින් අද (15) දින පෙරවරුවේ පලාලි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියසදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම සැමරුම් උත්සවය ඉන්දියාවේ 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පැවැත්විණි. යාපනයේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යාපනයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී රාකේෂ් නට්‍රාජ් මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහභාගී වූහ.

මෙම සැමරුම් උත්සවය අතරතුරදී, ශ්‍රී රාකේෂ් නට්‍රාජ් මහතා සහ මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර එක්ව දිවංගත ඉන්දීය සාම සාධක හමුදාවේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරමින් සිය ගෞරවාචාරයන් පුදකළහ.

මෙම සැමරුම් උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙක්, කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් එක්වූහ.