Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 18:13:56 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී යක්කල ‘රණවිරු ඇපරල්’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා ‘රණවිරු ඇපරල්’ කර්මාන්ත ශාලා කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය බදාදා (10) දින යක්කල ‘රණවිරු ඇපරල්’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අංශයන්ගේ ඵලදායිතාවය සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ් වනිගසේකර සහ යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජී.කේ.අයි විතානාච්චි ද මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා එක්වූහ.

කර්මාන්තශාලා පරිශ්‍රය වෙත පැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය යක්කල ‘රණවිරු ඇපරල්’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් අසාද් ඉසාදීන්, නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අමිල වාසගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟින් කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා එක්වූහ.  

මෙම නිරීක්‍ෂණ සංචාරයේදී මේජර් ජෙනරල් චන්න වීරසූරිය කර්මාන්තශාලාවේ සැකැස්ම සහ නිශ්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව මෙම සංචාරය සනිටුහන් කරමින් කර්මාන්තශාලා පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය. පසුව පැවති සුහද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා උසස් තත්ත්වයෙන් යුත් නිල ඇඳුම් නිෂ්පාදනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, අපේක්ෂිත නිෂ්පාදන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා කර්මාන්ත ශාලාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ද සහතික විය.

කර්මාන්ත ශාලාවේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම වෙනුවෙන් රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේවය කරන විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන්ටත්, සේනාවිධායක ඇතුළු සියලුම නිලයන්ටත් මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය කෘතඥතාවය පළ කළේය.

නිරීක්‍ෂණ චාරිකාව සමාප්තියේ, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කර්මාන්තශාලා පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක්ද තැබුවේය.