Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2022 13:58:27 Hours

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර උණුසුම් සුබපැතුම් මධ්‍යයේ දිවයිනට

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර සහ ඔහුගේ පුහුණුකරු වන රුක්‍ෂාන් ගුණතිලක බ්‍රහස්පතින්දා (12) දින මව්බිම වෙත පැමිණියේය.

මෙම අවස්ථාවට කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර පිළිගැනීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ක්‍රීඩා කර්නල් ශ්‍රීනාත් ගාල්ලගේ, මාණ්ඩලික නිලධාරි - I ක්‍රීඩා ලුතිනන් කර්නල් බුද්ධික ජයසූරිය, යුද්ධ හමුදා බර ඉසිලීමේ සහ සවි එසවීමේ කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් මංජුල සුබසිංහ, ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති සහ ජාතික පුහුණුකරු එච්.පී.ඒ.ආර් බණ්ඩාර මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආර්.බී. වික්‍රමසිංහ මහතා අමල් එදිරිසූරිය මහතා සහ පදක්කම්ලාභියාගේ ඥාතීන් ඇතුළු තවත් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි සිටිහය.

ගුවන් තොටුපළ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර සිය ජයග්‍රහණයන් වෙනුවෙන් සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රමුඛ යුද්ධ හමුදාවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු නිලධාරින් වෙත ස්තූතිය පුදකළ අතර, ඉදිරි තරඟ ඉසව්වලදී රන් පදක්කමක් දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ද පැවසීය.