Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2022 13:00:27 Hours

මව්බිම වෙනුවෙන් දිවිපිදූ හමුදා විරුවන්ට අරාලි තුඩුවේදී ගෞරවාචාර

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු වීරෝදාර රණවිරුවන්ගේ 30 වන ගුණ සැමරුම පසුගිය සඳුදා (08) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් යාපනය ආරාලි තුඩුව රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවයක් පැවැත්විණි. 51 වන සේනාංකය මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සහභාගී වූවේය. එමෙන්ම, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, නියෝජ්‍ය ආඥාපති උතුරු නාවික පෙදෙස කොමදෝරු කේ.කේ.අයි.යූ කාසිවත්ත, දෙවන අණදෙන නිලධාරි ගුවන් හමුදා කඳවුර පලාලි, වින්ග් කමාන්ඩර් බී.පී. විදානපතිරණ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්වූහ.

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝම්බයකට ගොදුරු වී දැයෙන් සමුගත් යුද විරුවෙකු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන්ම මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර් ස්ටිවන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ කෝප්‍රල් ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ යන අභීත යුද විරුවන් යාපනය, අරාලි තුඩුවේ රාජකාරි කටයුතුවල නිරතව සිටියදී මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිත පූජා කරනු ලැබීය.

දිවංගත රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වාදනය කරන යුද්ධ හමුදා බියුගල් නාදය වාදනය කරන ලදී. මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ඇතුලු කෘතවේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක්ද එක්වූහ.