Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2022 15:21:25 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රථම නිළ සංචාරයේ නිරත ගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ පිළිගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අඟහරුවාදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.

ගරු ජනාධිපතිතුමන් රැගත් පරිවාරක රථ පෙළපාලිය පෙරවරු 09.00 පැයට යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි අතර ආරක්‍ෂක අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉදිරිපිටදී ජනාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive-past) ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ගරු ජනාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරයන් පුදකිරීම සඳහා ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරයේ නිරත ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට පැමිණීමට පෙර ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, ගරු මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමන්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමන් ද එම අවස්ථාවට සහභාගී වූහ. යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරයේ නිරත ගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වලින් සැදුම්ලත් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත පිරිනමනු ලැබීය. අනතුරුව, සම්මාන මුරයේ පෙල අණදෙන නිලධාරිගේ ආරාධනයකට අනුව ගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා විශේෂ පීඨිකාව වෙත පැමිණියේය. පසුව, නිලධාරින් 04 දෙනෙකු සහ සෙසුනිලයන් 100 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණයන්ගෙන් සමන්විත සම්මාන මුරයේ ගෞරවාචාරය ගරු ජනාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබූහ.

පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද සේවා ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියසදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හඳුන්වාදෙනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතර සුහඳ අදහස් හුවමාරුවක් ද පැවැත්විණි. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ‘Sri Lanka Army Keystone Doctrines; Command, Operations Other Than War and Sustenance’ යන ග්‍රන්ථයේ මුල් පිටපත් ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබීය.

තවද, මෙම සංචාරයේදී ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල මීට සති කිහිපයකට ප්‍රථම විරෝධතාකරුවන් පිරිසක් සිදුකළ කලහකාරි තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරිමේදී තුවාල ලැබු භටපිරිස් සමඟින් ද සුහඳව අදහස් හුවමාරු කරගත්තේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතු ගරු ජනාධිපතිතුමන් පසුගිය දා ඇති වූ කලහකාරි තත්ත්වය හමුවේ භටපිරිස් කටයුතු කළ ආකාරය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත සිය ස්තූතිය පුදකිරීමෙන් අනතුරුව “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා නිර්භීතව කටයුතු කළ බව” ද සඳහන් කළේය. අනතුරුව, ජනාධිපතිතුමන්ගේ සුරතින් එම භටපිරිස් වෙත සහතික පත් ද ප්‍රදානය කරන ලදී.

පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද්ධ හමුදාවේ සියලු නිලයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයේ නිරත ගරු ජනාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.