Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2022 17:00:10 Hours

613 වන බලසේනාවේ භටපිරිස් ගංවතුරෙන් විපතට පත් රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ගේ ඥාතීන්ට ප්‍රවාහන පහසුකම් සපයයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන බලසේනාවට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් මාතර, කඹුරුපිටිය, අඩපාන රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ගේ ඥාතීන්ට රෝහල වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයනු ලැබිණි.

අධික වර්ෂාව හේතුවෙන් දින කිහිපයක සිට කඹුරුපිටිය, මුලටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ප්‍රවාහන කටයුතු සඳහා බාධා ඇති වී ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයට රෝහල වෙත පැමිණීමේදී ඇති වූ දුෂ්කරතා හේතුවෙන් කඹුරුපිටිය, අඩපාන රජයේ රෝහලේ අධ්‍යක්‍ෂකගේ ඉල්ලීමකට අනුව 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික ජයවීර ගේ මැදිහත්වීමෙන් යුද්ධ හමුදා ට්‍රක් රථ මගින් රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදී.

ගංවතුර තත්ත්වය පහවයන තෙක් ජූලි මස 29 සිට 31 දින දක්වා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන් බැලීමට පැමිණෙන රෝගීන්ගේ ඥාතීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදා භටපිරිස් විසින් සපයනු ලැබූහ.