Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2022 15:22:41 Hours

622 බලසේනාවේ භටපිරිස් හි ශ්‍රමදායකත්වයෙන් හැලඹේවැව ප්‍රාථමික විද්‍යාලයේ ගුරු නිවාසය ඉදිකරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාවට අනුයුක්තව රාජකාරියේ නියුතු භටපිරිස් අත්තනගල්ල සිංහ සමාජයේ ඉල්ලීම පරිදි පදවිය ප්‍රදේශයේ හැලඹේවැව ප්‍රාථමික විද්‍යාලයේ අර්ධ වශයෙන් ඉදිකරන ලද ගුරු නිවාසයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබා දුන්හ.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහ 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉනෝජ් හේරත් විසින් ලබාදුන් උපදෙස් මත අත්තනගල්ල සිංහ සමාජයේ මූල්‍ය අනුග්‍රහකත්වයෙන් මෙම ගුරු නිවාසයේ ඉදිකිරීම් කටයුතු භටපිරිස් විසින් ආරම්භ කරන ලදී.

622 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සේනක මුනසිංහ ගේ අධික්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ගුරු නිවාසය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කරන ලදී.

මෙම ගුරු නිවාසය විදුහලේ ගුරුභවතුන් වෙත භාරදීමේ උත්සව අවස්ථාව සඳහා 622 බලසේනාවේ බලසේනාධිපතිගේ ආරාධනයෙන් 621 බලසේනාවේ බලසේනාධිපති කර්නල් නිස්සංක කඳනාරච්චි සමඟින් සිංහ සමාජයේ දිස්ත්‍රික් ප්‍රධාන නිළධාරී සහභාගී වූ අතර, එහිදී සංකේතාත්මකව නව ගුරු නිවාසයේ යතුරු විද්‍යාලයේ ගුරුභවතුන් වෙත ප්‍රදානය කරන ලදී.

එම උත්සව අවස්ථාවෙන් පසු පාසල් සිසුන් 50 දෙනෙකු වෙත එක් පාර්සලයක් රුපියල් 3500/= ක් පමණ වටිනාකමකින් යුත් අභ්‍යාස පොත්, පැන්සල්, පෑන්, උපකරණ පෙට්ටි, චිත්‍ර පොත් සහ ලිපි ද්‍රව්‍ය පාර්සල් බෙදාදුන් අතර, එහිදී එම පාසල් සිසුන්ගේ දෙමාපියන් 46 දෙනෙකු වෙතද වියළි සලාක පාර්සල් ලබාදුන්හ.

පාසල් සිසුන්ගේ දෙමාපියන් 46 දෙනා වෙත ලබාදුන් එක් වියළි සලාක පාර්සලයක් රුපියල් 3000/= ක් පමණ වටිනාකමකින් යුක්ත වන අතර, එම සියළුම පරිත්‍යාගයන් සඳහා සිංහ සමාජය විසින් සිය අනුග්‍රාහකත්වය ලබාදී ඇත.