Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2022 18:30:16 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලට නව නේවාසිකාගාරයක්

කොවිඩ් - 19 වෛරසය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ඵලදායී ක්‍රියා පටිපාටීන් සකස් කරමින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව වෙතින් දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරමින් CDB බැංකුව වෙතින් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙත සිදුකරනු ලැබූ රුපියල් මිලියන 10 ක මූල්‍යමය පරිත්‍යාගය භාවිතා කරමින් එම පුහුුණු පාසල් පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව ගොඩනැගිල්ලේ පළමු මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන් නිමකර පසුගිය බදාදා (06) දින විවෘත කරනු ලැබීය.                  

මේජර් ජෙනරල් උදයන්ත විජේරත්න (විශ්‍රාමික) සහ මේජර් ජෙනරල් ප්‍රසන්න ද සිල්වා (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත CDB බැංකුව වෙතින් මෙම රුපියල් මිලියන 10 ක මූල්‍යමය පරිත්‍යාගය කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානි සහ හිටපු යුද්ධ හමුදාධිපති වන වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබාදෙන ලදී.     

දේශීය හා විදේශීය හමුදා ශිෂ්‍ය නිලධාරින් වෙනුවෙන් පුහුණු පහසුකම් සපයන වඩාත් ප්‍රමුඛ හා වැදගත් අධ්‍යයන මධ්‍යස්ථානයක් වශයෙන් එම පුහුණු පාසලේ ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවය පවත්වාගැනීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මෙම ව්‍යාපෘතිය නිමකිරීම සඳහා යුද්ධ හමුදා අරමුදලින් රුපියල් මිලියන 2 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.

එම පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී, විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයන් සඳහාද පහසුකම් ඇති, 65 දෙනෙකුට පමණ එකවර නවාතැන් ගතහැකි මෙම නව නේවාසිකාගාරය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ විසින් සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී. මීට පෙර කොවිඩ් - 19 නිරෝධායන කටයුතු සඳහා භාවිතා කළ මෙම නව ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු 3 වන ඉංජිනේරු සේවා බළකායේ සහ යුද්ධ හමුදා පුහුණු පාසලේ භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත නිමකිරීමට හැකියාව ලැබිණි.

CDB බැංකුවේ නිලධාරීන් එම පුහුණු පාසලේ සිදුකළ සංචාරයකදී, පසුගිය වසරේ කොවිඩ් - 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ මෙම නව ගොඩනැගිල්ලේ යටිතල පහසුකම්වල සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කර මෙම මූල්‍ය පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා CDB බැංකුවේ නියෝජිතයින්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් එක්වූහ.