Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2022 14:24:26 Hours

66 වන සේනාංකයේ සේනාංකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජනක ප්‍රියදර්ශන ජුනි මස 20 දින පුනරින්හි පිහිටි 66 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගන්නා ලදී.  

66 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ජනක ප්‍රියදර්ශන වෙත 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිිරිනැමීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් ජනක ප්‍රියදර්ශන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.

පසුව, නව ධූරයේ රාජකාරි භාරගත් සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සේනාංක මූලස්ථානයේ සියළුම නිලධාරීන් අමතන ලදී.  

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.  

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ජනක ප්‍රියදර්ශන මෙම ධූරය සඳහා පත්කරන ලදි. 

නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් ජනක ප්‍රියදර්ශන යුද්ධ හමුදා මූලස්ථානයේ වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ධුරය හෙබවූවේය.