Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2022 14:30:39 Hours

613 වන බලසේනාවේ මූලිකත්වයෙන් වියළි සලාක පරිත්‍යාගයක්

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හබරාදූව ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් 150 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය (7) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

613 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරීන් සමඟ සාකච්ඡා කර එම ප්‍රදේශයන්හී විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් තෝරාගැනීමෙන් අනතුරුව මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්, හබරාදුව ප්‍රාදේශීය ලේකම්, 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී, 613 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.  

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික ජයවීර ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන 14 වන (ස්වේච්ඡා) ගැමුණූ හේවා බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අසේල විජේරත්න ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.  

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් උතුර, නැගෙනහිර, බටහිර සහ දකුණු පළාත්වල ස්ථාපිත යුද්ධ හමුදා කඳවුරුවල සම්බන්ධීකරණයෙන් හා සංවිධානයෙන් පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ජනතාව වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබූහ.