Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 15:41:44 Hours

වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක් සඳහා 144 වන බලසේනාවේ සහයෝගය

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනාවේ සහ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කඩුවෙල ප්‍රදේශයේ ජීවත් වන අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් 330 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 ජූලි මස 01 දින හේවාගම ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීමකට අනුව 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු විසින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීන් සමඟ එක්ව වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබූ අතර එම වියළි සලාක පාර්සල් සහල්, පරිප්පු, කුළුබඩු, ධාන්‍ය වර්ග, පිටි, වියළි මාළු සහ නූඩ්ල්ස් ආදියෙන් සමන්විත විය.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්, හේවාගම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර හිමිපාණන්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම්, හේවාගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු සහ තවත් නිලධාරීන් එක්වූහ.