Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2022 18:27:51 Hours

141 බලසේනාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුල් 1500 ක් වෙත වියළි සලාක පාර්සල්

තලගල සුමනරතන නායක හිමියන් ප්‍රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ’ පදනමේ සහ සිංගප්පූරුවේ ‘Tan Nagak & Kee Meng Leng Foundation Limited’ පදනමේ පරිත්‍යාගශීන්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ භටපිරිස් විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය, දෙල්ගොඩ, නිට්ටඹුව සහ කණ්ඩලම යන ප්‍රදේශවල ආර්ථීක දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 1500ක් අතර වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී.

මෙලෙස පරිත්‍යාග කරන ලදී එක් පාර්සලයක වටිනාකම රුපියල් 1500.00 ක පමණ වන අතර, සහල්, පරිප්පු, සෝයාමීට්, ලුණු, කුළුබඩු ආදි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ගෙන් සමන්විතය. මෙම වියලි සලාක පරිත්‍යාගයන් සඳහා රුපියල් මිලියන 2.2 ක පමණ මුදලක් අනුග්‍රහක භවතුන් විසින් දරා ඇත.

මෙම වියලි සලාක පාර්සල් තොගය ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ යුද්ධ හමුදා භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් පසුගිය සඳුදා (27) දින එම ප්‍රතිලාභි පවුල් අතර බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ විසින් අධීක්‍ෂණය කරනු ලැබු අතර, 141 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ සහයෝගය ඇතිව අදාළ ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පවුල් තෝරාගන්නා ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යපෘතීන් සඳහා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලැබු තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන නායක ස්වාමින් වහන්සේ, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ, බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති, 141 වන බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි ඒකක අණදෙන නිලධාරීන්, කලාප අණදෙන නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුළු පරිසක් සහභාගී වූහ.