Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2022 15:00:08 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිත්‍යාගශීලියෙකුගේ මූල්‍ය දායකත්වය මත වවුනියාව අධ්‍යාපන කලාපයේ ඇටඹගස්කඩ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපන හදාරන පාසල් සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දින ක්‍රියාත්මක කරන ලදී.

ඕස්ට්‍රේලියාවේ පදිංචි දේවින්ද මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ අනුග්‍රහකත්වය ඇතිව 2022 ජුනි මස 22 දින පැවති උත්සවයකදී ක්‍රියාත්මක කරනු ලැබු මෙම වැඩසටහන තුළින් පාසල් සිසු සිසුවියන් අතර පාසල් උපකරණ පාර්සල් 65 ක් බෙදාදුන්නේය. පෙළ පොත්, ලිපි ද්‍රව්‍ය, පෑන්, පැන්සල් සහ අභ්‍යාස පොත් ආදියෙන් සමන්විත වූ මෙම පාසල් උපකරණ පාසල් සිසු සිසුවියන් අතර බෙදාදීමෙන් අනතුරුව සිසු සිසුවියන් සහ ගුරු භවතුන් වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ඒ.එල්. මාපලගමගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ විසින් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින සිසු සිසුවියන් වෙත මෙම ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී. ඇටඹගස්කඩ විද්‍යාලයේ විදුහල්පති, ගුරු භවතුන්ගේ සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණය මත 563 වන බලසේනාවේ බලසේනාධිපති ප්‍රමුඛ 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම පරිත්‍යාගය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

පාසල් සිසු සිසුවියන් සහ ගුරු භවතුන් 75 දෙනෙකු වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහය පිරිනැමීමේ අවස්ථාව සඳහා ඇටඹගස්කඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ශ්‍රී සුමංගල සිද්ධාර්ථ හිමිපාණන්, වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ දේවින්ද මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් එක්වූහ.