Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2022 16:09:08 Hours

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරීපත් වූ ක්‍රීඩිකාවට යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් මූල්‍යමය ශිෂ්‍යාධාර පිරිනැමේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව වෙතින් යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සුහදත්වය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරීපත්ව සිටින යාපනය අර්ධද්වීපයේ චුල්ලිපුරම්, වික්ටෝරියා විද්‍යාලයේ ක්‍රිස්ටිනා සෙල්වරාසා ක්‍රීඩිකාව වෙත මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කරන ලදී.

ක්‍රිස්ටිනා සෙල්වරාසා ක්‍රීඩිකාවගේ ජයග්‍රහණ සහ ඇය ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරීපත්වීම පිළිබඳව 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රිස්වි රාසික් විසින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් උදය කුමාර දැනුවත් කිරීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුවීම් කටයුතු වෙනුවෙන් සහ අනාගතයේදී එම ක්‍රීඩිකාව වෙත පැණනැගෙන ආර්ථික දුෂ්කරතා මඟහරවමින් ඇය වෙත අනුග්‍රාහක භවතෙකු සොයාගැනීම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටි ත්‍යාහී පුණ්‍ය භාරයේ සභාපති වාමදේවන් තියාගේන්ද්‍රන් මහතා සහ එම සංවිධානයේ මනෝහරන් මනෝ මහතා විසින් ක්‍රිස්ටිනා සෙල්වරාසා ක්‍රීඩිකාව වෙත සෑම මසකම රුපියල් 5000 ක මුදලක් පිරිනැමීමට කැමැත්ත පලකරන ලදී. එමෙන්ම, 513 වන බලසේනා මූලස්ථානය විසින් ක්‍රිස්ටිනා සෙල්වරාසා ක්‍රීඩිකාව සහ ඇයගේ දෙමවුපියන් වෙත එම මූලස්ථාන පරිශ්‍රය වෙත ආරාධනා කර මුල්‍යමය ශිෂ්‍යාධාර සහ ක්‍රීඩා භාණ්ඩ තොගයක් පිරිනමන ලදී.

එම අවස්ථාවේදී ත්‍යාහී පුණ්‍ය භාරයේ සභාපති වාමදේවන් තියාගේන්ද්‍රන් මහතා සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය කුමාර විසින් පසුගිය සඳුදා (27) දින එම ක්‍රීඩිකාව වෙත 51 වන සේනාංක මූලස්ථානය වෙත ආරාධනා කර එම මූල්‍ය අනුග්‍රහකත්වය ඇතුළු දිරිගැන්වීම් ප්‍රදානය කළ අතර ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුබපැතුම් ද එක් කළහ.

මෙම අවස්ථාවට 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රිස්වි රාසික් සහ ක්‍රිස්ටිනා සෙල්වරාසා දියණියගේ දෙමවුපියන් ද සහභාගී වූහ.