Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2022 14:15:11 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පදිංචිව සිටින පරිත්‍යාගශීලී රජිකරන් ෂන්මුගරත්නම් මහතාගේ මූල්‍ය අනුග්‍රහකත්වය මත යාපනය අර්ධද්වීපයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය හඳාරන සිසු සිසුවියන් වෙත රුපියල් 500,000/= ක වටිනාකමකින් යුත් පාපැදි විසි දෙකක් සහ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභී පවුල් වෙත රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 50 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (26) දින ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් හා 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ අධීක්‍ෂණය මත සංවිධානය කරනු ලැබු මෙම පරිත්‍යාග වැඩසටහන චාවකච්චේරිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහ පරිත්‍යාගශීලි රජිකරන් ෂන්මුගරත්නම් මහතා සහභාගී වූහ. තවද, එම අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ද සහභාගී විය.

523 වන බලසේනාවේ භටපිරිස් සිය බලප්‍රදේශයේ පාසල් බලධාරින් සහ ග්‍රාම නිලධාරීන් සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකිරීම සඳහා චාවකච්චේරිය ප්‍රදේශයේ ප්‍රතිලාභී පවුල් සහ සාමාජිකයින් තෝරාගන්නා ලදී.

යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව අතර අන්‍යෝන්‍ය සබඳතාවය වැඩිදියුණු කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ප්‍රජා මූලික වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ ප්‍රථිලාභී දමිළ ජනතාව, සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ පාසල් ගුරුභවතුන් ද සහභාගී වූහ. යුද්ධ හමුදා භටපිරිස් විසින් යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන මෙවැනි ප්‍රජා මූලික ව්‍යපෘතීන් ඇගයීමට ලක්කරමින් විදේශීය පරිත්‍යාගශීලියෙකු වන රජිකරන් ෂන්මුගරත්නම් මහතා මෙම ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වය දැක්වීය.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 52 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ 523 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින්, තෙන්මාරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, චාවකච්චේරි සහකාර පොලිස් අධිකාරී, චාවකච්චේරි හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.