Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2022 18:17:43 Hours

52 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 වන සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු පසුගිය සඳුදා (20) දින එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු වෙත 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය.

පසුව, නව සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සේනාංක මූලස්ථානයේ සියළුම භටපිරිස් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳ ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව සඳහා 521, 522 සහ 523 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් උදය හේරත් 53 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු මෙම ධූරය සඳහා පත්කරන ලදි.