Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 10:54:05 Hours

සිද්ධාර්ථ පදනමේ අනුග්‍රාහකත්වය මත මන්නාරම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත වැසියන්ට වියළි සලාක පරිත්‍යාගයක්

පූජ්‍ය තලගල සුමනරතන නාහිමිපාණන් ප්‍රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු සහ වෙංගාල, සෙට්ටිකුලම් ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (19) දින ක්‍රියාත්මක කරන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ ඉල්ලීමකට අනුව 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ ගේ දැඩි අධීක්‍ෂණය යටතේ පෙරියන්පාණ්ඩි විරිච්චාන් දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පැවති මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ තෝරාගත් පවුල් 320 ක් වෙත රුපියල් 2600.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදි. එම වියළි සලාක පාර්සල් සහල් කිලෝග්‍රෑම් 5 ක්, පරිප්පු කිලෝ ග්‍රෑම් 1 ක්, සීනි කිලෝග්‍රෑම් 1 ක්, තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1 ක්, ටින් මාළු ටින් 1 සහ සෝයා මීට් පැකට් 1 කින් සමන්විත විය.

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත පූජ්‍ය තලගල සුමනරතන නාහිමිපාණන් ප්‍රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම විසින් දිවයින පුරා සිටින අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ කටයුතු සිදුකරනු ලබයි.

මෙම වියළි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා මඩු ප්‍රාදේශීය ලේකම් ගයාන් මහතා, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි, 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ, 653 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් දිල්හාන් ගනේහිආරච්චි, 65 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් සහ පරිත්‍යාගශීලී නියෝජිතයන් සමඟ තවත් කිහිපදෙනෙකු එක්වූහ.