Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 10:58:30 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සිසු සිසුවියන්ට පාසල් උපකරණ බෙදාදෙති

53 වන සේනාංකය යටතේ ස්ථාපිත 532 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය මාවනගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන් 315 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ක්‍රියාත්මක කරන ලදී.

532 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව ‘යුතුකම’ පුණ්‍යායතනය ඇතුළු තවත් දානපතියන් කිහිපදෙනෙකු ගේ අනුග්‍රහකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන යටතේ සෑම සිසු සිසුවියෙකුටම පොත්, පෑන්, පැන්සල්, ලිපි ද්‍රව්‍ය, අභ්‍යාස පොත් ආදි පාසල් උපකරණවලින් සමන්විත රු. 1,500.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටල බෙදාදෙන ලදි. ‘යුතුකම’ පුණ්‍යායතනය ඇතුළු අනෙකුත් දානපතියන් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා රුපියල් 472,500.00 ක මුදලක් වැය කරන ලදී.

532 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.පී වික්‍රමසේකර ගේ ආරාධනයකට අනුව මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න සහභාගී විය. එමෙන්ම, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, සිසු සිසුවියන්ගේ දෙමවුපියන්, 532 වන බලසේනාවේ භටපිරිස් සහ සිවිල් වැසියන් මෙන්ම ආරාධිත අමුත්තන් ලෙස දෙහිඅත්තකණ්ඩිය මාවනගම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ගුරු භවතුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.  

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ යුද්ධ හමුදා සාමාජිකයින් හා සිවිල් වැසියන් අතර සමඟිය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.