Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2022 11:05:34 Hours

මුලතිව් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව පසුගිය මාස කිහිපය තුල සහන සේවා කටයුතුවල නිරතව සිටි දකුණු ප්‍රදේශයේ දානපති තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම, සිංගප්පූරුවේ සීමාසහිත ‘Tan Ngak & Kee Meng Leng’ පදනම සහ කළුතර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සහයෝගයෙන් යුතුව 2022 ජුනි මස 11 දින මුලතිව් ප්‍රදේශයේ දිළිඳු පවුල් සහ අවශ්‍යතා සහිත පවුල්වල දරුවන් 41 දෙනෙකු වෙනුවෙන් සහල් කිලෝග්‍රෑම් 05 ක්, පරිප්පු ග්‍රෑම් 500 ක්, පොල් ගෙඩියක් සහ සෝයා මීට් පැකට් 03 කින් සමන්විත වියළි සලාක පාර්සල් 175 ක් බෙදාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ගේ උපදෙස් හා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම ගේ මඟපෙන්වීම මත 682 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

එම වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස මාතලේ ‘Fitting Palace Company Ltd’ ආයතනයේ සහ ඩුබායි හි ‘JSBCLLC Co. Ltd’ ආයතනයේ හිමිකරුගේ අනුග්‍රාහකත්වය මත මුලතිව් මාතලන් රෝමානු කතෝලික පාසල් පරිශ්‍රයේදි සිවිල් වැසියන් 100 දෙනෙකු වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් වසන්ත පාලමකුඹුර, බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල, 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ගුණතුංග, 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.