Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2022 17:55:31 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි.  

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සඳුදා (23) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් දුලිත පෙරේරා විසින් ප්‍රධාන දොරටුව අභියසදී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී. අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විරාජ් විමලසේන විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන් සරඹ භූමීය වෙත කැටුව යනු ලැබීය. පසුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමුවේය.

අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සිය කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය.

ඉන්පසුව නව රෙජිමේන්තු අධිපතිතුමන් මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේය.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් නව රෙජිමේන්තු අධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර, අනතුරුව එතුමන් බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ පැවති සියලු නිල තේපැන් සංග්‍රහයකටද සහභාගී විය.  

ඉන් අනතුරුව නව රෙජිමේන්තු අධිපතිතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී භටපිරිස් ඇමතූ අතර, පසුව සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කල මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ මීට දින කීපයකට පෙර විශ්‍රාම යාමෙන් පසු මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන මෙම ධූරයට පත්කරන ලදී.  

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.