Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2022 23:30:37 Hours

ආගමික සහ විචිත්‍රවත් සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත කූරගල රාජ්‍ය වෙසක් උත්සවයේ නිමාව සනිටුහන් වේ

යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්‍රාග් ඓතිහාසික යුගයට උරුමකම් කියන විහාරස්ථානයක් වන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේදී සතියක් පුරා පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උත්සවය මැයි මස 21-22 යන දෙදින තුළ සුවහසක් බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

අභිනව ධාතු මන්දිරයට බුද්ධ පූජාව පැවැත්වීම සහ භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පිරිනැමිමේ උතුම් අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදි චෛත්‍ය වෙත අළංකාර පෙරහැරකින් ගොස් පුද පූජා පැවැත්වීම සහ වත්පිළිවෙත් ඉටු කිරීම, ලොවුතුරා බුදු පියාණන් උදෙසා අෂ්ටපාන පූජාව සහ ගිලන්පස පූජා කිරීම මෙන්ම සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත අවසන් භක්ති ගීත සංදර්ශනය ඉකුත් ඉරිදා (22) දින විචිත්‍රවත් අයුරින් පවත්වන ලදී.

සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා විහාරආරාම පූජාවෙහි පුරාණ සංස්කෘතික පිළිවෙත් පුරමින් භික්ෂූන් වහන්සේලා 200 නමකින් සැදුම්ලත් මහ සඟරුවන පුරාණ චාරිත්‍රානුකූලව කුරගල විහාරස්ථානය සඝසතු කර බුද්ධ ශාසනයට පූජා කරන ලදී. පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැති මෙම උතුම් පිං කටයුත්ත සඳහා මහා සංඝරත්නය සමඟ එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ විය. එමෙන්ම එම අවස්ථාවට ප්‍රථම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ධාතු මන්දිරයේ ‘සුගන්ධ කුටිය’ වෙත පුද පූජාවන් පැවැත්වූහ. තවද, විධායක ජෙනරල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, පිරිස් පාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් උදය කුමාර සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ‘ඇසිදිසි මහා සෑය’ උදෙසා පුද පූජාවන් පැවැත්වූහ.

සබරගමුව පළාතේ පිහිටා ඇති කූරගල රජමහා විහාරස්ථානය නමින් ප්‍රකට පුරාණ බෞද්ධ ආරාමය, ඓතිහාසික ලෙන් විහාර සංස්කෘතිය විඳහපාමින් වසර 2300 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුපමේය කැපවීමෙන් හ‍ා සැදැහැවත් බෞද්ධ බැතිමතුන්, යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රමුඛ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වය තුලින් මෙම බෞද්ධ විහාරස්ථානය වෙත වසරකට අඩු කාලයක් තුල නව පුනර්ජීවයක් ලැබීය.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම බෞද්ධ ආගමික ස්ථානයේ පුනර්ජීවය ඇතිකිරීම සඳහා විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන් ගේ උපදෙස් මත 2021 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ දින සිට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මාර්ගෝපදේශය යටතේ ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්වලට ව්‍යාපෘතිය වසරක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට හැකියාව ලැබිණි.

සැදැහැවත් බෞද්ධ ජනතාවගේ සාදුකාර මධ්‍යයේ විහාරස්ථානයේ දිනපතා සිදුකරනු ලබන පුද පූජාවන්ට මුල් තැනක් දෙමින් පංචතූර්‍ය තේවා හඩ මධ්‍යයේ ‘ගිලන්පස’ සහ ‘අෂ්ටපාන’ පූජාවන් රැගත් අළංකාර පෙරහැරකින් අභිනවයෙන් ඉදිකරනු ලැබු ධාතු මන්දිරයට සහ චෛත්‍යය රාජ්‍යණන්වහන්සේ වෙත ගමන් කළේය. එහිදි, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජීව නෙල්සන් මැතිණිය ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් ඇතුලු බැතිමතුන් පිරිසක් විසින් ගිලන්පස, පැන්, මල්, පහන් සහ සුවඳ දුම් ධාතු මන්දිරයට සහ චෛත්‍යය රාජ්‍යණන්වහන්සේට පූජා කළේය. එම චාරිත්‍රයන්ගෙන් අනතුරුව සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් උත්සව අවස්ථාවට වැඩම කරන ලද මහා සංඝරත්නය උදෙසා ගිලන්පස පූජා කළේය.

සන්ධ්‍යා සමය එළබීමත් සමග ප්‍රාග් ඓතිහාසික යුගයට දිවෙන මෙම පුදබිම තුළ බුදුදහමේ උරුමය ඉස්මතු කරමින් අළංකාර සංස්කෘතික සංදර්ශනය සහ ‘බක්ති ගීත’ ප්‍රසංගය යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් බැතිමතුන්ගේ රසස්වාදය උදෙසා විවෘත කරනු ලැබූහ.

වෙසක් දින කූරගල විහාරස්ථානය ඒකාලෝකවත් කරමින් පැවැති වෙසක් පහන් කූඩු තරඟයේ ජයග්‍රාහකයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තිළිණ ප්‍රදානය කරන ලදී. එහි පළමු ස්ථානය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට ද, දෙවන ස්ථානය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය ද, 3 වන ස්ථානය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට ද හිමි විය.

පසුගිය වෙසක් පොහොය දින (15) මෙම පුණ්‍ය උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්, උත්සවයේ පළමු අදියර ලෙස කූරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුරතින් සුදු පැහැති මල් වලින් සකසන ලද පීත්ත පටිය කපා විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි සිංහ ප්‍රතිමාව සහ සුගන්ධ කුටිය වෙත පිවිසෙන පියගැට පෙළ විවෘත කරනු ලැබීය.

මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා සහ සාම්ප්‍රදායික බෙර නාද මධ්‍යයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බැතිමතුන් පිරිසක් සමඟ එක්ව කූරගල ‘ඇසිදිසි ශාක්‍යමුණි මහාසෑය’ චූඩා මානික්‍ය සුවහසක් ලෝකවාසි බෞද්ධ ජනතාවගේ වන්දනාමාන උදෙසා ගෞරවාදර භක්තියෙන් යුක්තව විවෘත කරනු ලැබීය.

ඉන් අනතුරුව ලෝකවාසි බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද ‘ඇසිදිසි ශාක්‍ය සුගත දම්සභා මණ්ඩපය’ සහ බෝධිඝරය විවෘත කිරීමට ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කරන ලදී. යුද්ධ හමුදා බෞද්ධ සංගමය, නෙත් එෆ් එම් රේඩියෝ නාලිකාව ඇතුළු සැදැහැවතුන්ගේ ආධාර ඇතිව ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරීම ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු දායක දායිකාවන් විසින් සිදු කරන ලදී.

මෙම විහාරස්ථාන සංකීර්ණයේ අනෙකුත් ඉදිකිරීම් වලදී මෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ඇතිව මෙම සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ධාතු මන්දිරය ඉදිකිරීමට හැකි විය. තවද, නේවාසික භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහාත්, ස්‌ථාන පරිපාලනය සඳහාත්, මහල් 4 කින් සමන්විත නේවාසික සංඝාවාසය, පරිපාලන අංශය සහ භික්‍ෂූන් වහන්සේලා සඳහා දාන ශාලාව ද එදිනම විවෘත කරන ලදී.

මෙම අවස්ථාවේදී පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන් විසින් අනුශාසනාවක් සිදුකරමින් මීට වසර කිහිපයකට පෙර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත්කිරීම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ විශාල බැතිමතුන් පිරිසක් විසින් ලබාදුන් අනුපමේය සහයෝගය සහ අනුග්‍රාහකත්වය මත මෙම ව්‍යාපෘතිය වසරක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට හැකි වූ බව සිහපත් කළේය. තවද, වසර 50 කට අධික කාලයක් අබලන්ව පැවති මෙම විහාරස්ථානය බැතිමතුන් වෙනුවෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භටපිරිස් විසින් සිදුකරනු ලැබූ කැපවීම වෙනුවෙන් ද හිමිපාණන් විසින් සිය ස්තූතිය පුදකරන ලදී.