Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2022 23:09:05 Hours

රණවිරු සැමරුම් දිනයේදී ‘මිහිඳු සෙත් මැදුර’ නේවාසික රණවිරුවන්ගේ රණකාමීත්වය ඇගයේ

මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින වීරෝදාර රණවිරුවන් වෙත රණවිරු අනුස්මරණ දිනයේදී ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය මැයි මස 18 දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

සියලුම නවීන වෛද්‍ය උපකරණයන්ගෙන් සමන්විත මෙම සුවතා නිකේතනයේ රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් 40 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය ඔවුන්ගේ ප්‍රතිකාර ඒකක වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසමින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම සංචාරයේදී, එම රණවිරුවන් ලද ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත ඇඳ ඇතිරිලි සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් ත්‍යාග පාර්සල් ද පරිත්‍යාග කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මැතිණිය මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් රණවිරුවන් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක්විය.

“යුද්ධයේ දී තුවාල ලැබූ සොල්දාදුවෙකු වශයෙන් මම ඔබේ වටිනා ජීවිතයේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම කරමි. අද වැනි වීරයන්ගේ දිනයක දැයේ පිනට පහළ වූ වී‍රෝදාර රණවිරුවන් වන ඔබ රණබිමේ දැක්වූ යුතුකම, කැපවීම, විනය මෙන්ම ඔබේ දක්‍ෂතාවය නිසාම අදටත් ඔබට නිවසින් බැහැරව මෙවැනි සුවතා නිකේතනයක ප්‍රතිකාර ගැනීමට සිදුව තිබෙනවා. මීට පෙර යුද්ධ හමුදාධිපතිවරුන් වීරෝදාර රණවිරුවන් සහ සියලුම නිලයන් වෙනුවෙන්, ඔබට මේ අවස්ථාවේ මා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. එමෙන්ම, සියලුම රණක්‍ෂිතයට පත්ව සිටින වීරෝදාර රණවිරුවන් ද ඔබ මෙන් නොවුණත්, ඔවුන් ද තවමත් මා මෙන් තුවාල කැළැල් සමඟ ජීවත් වෙති,” යනුවෙන් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නේවාසික රණවිරුවන් අමතමින් ප්‍රකාශ කරන ලදී.

“ ඇතැම් පාර්ශ්වයන් චෝදනා කලද, පසුගිය දිනයන්හි ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියා ඇවිළී පැය 24කට අඩු කාලයකදී එම ස්ථානයන් වෙත ගොස් ඇති වූ තත්ත්වය උග්‍රවීමට ඉඩ නොදී පාලනය කිරීමට හැකියාව හමුදාවට ලැබුණා. ඒ වාගේම රටේත් මහ ජනතාවගේත් ආරක්‍ෂාව තහවුරු කරමින් ඕනෑම අවස්ථාවක පවතින අභියෝගවලට මුහුණ දීමට අපි හැමවිටම සූදානම්ව සිටිනවා.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

“දැයේ පිනට පහළ වූ වී‍රෝදාර රණවිරුවන් වන ඔබව රැකබලා ගැනීමට සහ ඔබ රට වෙනුවෙන් සිදුකළ මෙහෙය අගය කිරීමට අපට කළ හැකි උපරිමය කරන්නෙමු. හමුදාවේ අපි සෑම විටම අපේ ජනතාව සහ රට ආරක්ෂා කිරීම සඳහා සෑම විටම පෙරමුණ ගෙන සිටිමු. එය අතීතයේ ද එසේ වූ අතර මෑත කාළීණව මෙන්ම අනාගතයේද එය තවදුරටත් එසේ වනු ඇත. ඒ වාගේම මේ අපි කවුරුත් නොදන්නා කොවිඩ්-19 වසංගතය හමුවේ ද ජනතාව ආරක්‍ෂා කිරීමට වීරෝදාර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කැපවීමෙන් කටයුතු කළ අතර එය පාලනය කිරීමට අප සමත් විය. පසුගිය කාලයේ ප්‍රචණ්ඩකාරි ප්‍රහාර හේතුවෙන් කැළඹුණු මහජනතාව පැය 24ක් ඇතුළත පොලිසියේ සහය ඇතිව රට තුළ ජාතියේ ආරක්ෂකයා ලෙස එම තත්ත්වය සමනය කිරීමට අපට හැකිවිය. ඉදිරියේදීත් රටේ සහ මහා ජනතාවගේ යහපත වෙනුවෙන් යුද්ධ හමුදාව එම කාර්යභාරය නොපසුබටව නිරන්තරයෙන් ඉටු කරනු ඇත. අවසන් වශයෙන් ඔබ සියලු දෙනාට ඉක්මන් සුවය, නිදුක් නිරෝගී සුවය එක සිතින් ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මිහිඳු සෙත් මැදුරේදී රණවිරුවන් අමතමින් පැවසීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, අඥාපති භඨකාර්ය සම්පාදන අණසක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝණ්, මිහිදු සෙත් මැදුරේ සේනාවිධායක කර්නල් ප්‍රියන්ත ලියනගේ ඇතුළු ‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.