Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2022 10:15:43 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමදාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු ඉස්ලාම් භක්තික නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමේ උත්සවය සිකුරාදා (29) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් විසින් සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ චාරිත්‍රයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් දක්වන ගෞරවය සංකේතවත් කරමින් මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරන ලද අතර, මෙමගින් රටේ සමෘද්ධිය සහ සෞභාග්‍ය ප්‍රාර්තනා එක්කරමින් ආශිර්වාද කිරීම ද සිදු කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මීට වසර කිහිපයකට යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් ධූරයේ රාජකාරී සිදුකරන කාල වකවානුවේ මෙම නව ‘ඉෆ්තාර්’ ක්‍රමය ආරම්භ කරනු ලැබු අතර, එම වැඩසටහන තුලින් යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සියලුම මුස්ලිම් සහෘදයින්ට එක් වහලක් යට අනෝන්‍ය සබඳතාවයන් වර්ධනය කරගනිමින් තම ආගමික චාරිත්‍ර වාරිත්‍රයන් ඉටුකිරීම සඳහා අවස්ථාව උදාවූහ.

මෙම අවස්ථාවට ආශිර්වාද එක්කළ මවුලවිවරු ‘ඉෆ්තාර්’ උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව යුද්ධ හමුදාවට ප්‍රශංසා කළ අතර, “යුද්ධය පැවති සමයේදී ද යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුලු භටපිරිස් අසමසම සේවාවක් ඉටු කළ අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේද එම තත්ත්වය ක්‍රමානුකූලව පාලනය කර ගැනීම සඳහා ද මහත් කැපකිරිමක් සිදුකරන ලදී. ඒ සහයෝගය ක්‍රමානුකූලව ක්‍රියාත්මක නොවුණා නම් කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් අපි තවදුරටත් කරදර විදිමින් සිටින්නෙමු. එබැවින් කාලීන සහ ප්‍රශංසනීය කාර්ය භාරයන් වෙනුවෙන් යුද්ධ හමුදාවට ප්‍රශංසා කළ යුතුයි” යැයි මවුලවිවරුන් සඳහන් කළහ.

මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව බ්‍රිගේඩියර් අස්කර් මුතාලිෆ් විසින් සිදුකළ අතර, මවුලවි මොහොමඩ් ඉසඩ් සහ මවුලවි සෆ්රාස් ඉක්බාල් විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් දේශන පවත්වමින් ‘ඉෆ්තාර්’ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සහ එහි අර්ථය ජීවන රටාවට වැදගත්වන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදී.

ඉෆ්තාර් උපවාසය අත්හැරීමේ යාඥාවෙන් අනතුරුව, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් අස්කර් මුතාලිෆ්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු මෙම උත්සවය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ එක්ව ‘ඉෆ්තාර්’ චාරිත්‍ර වාරිත්‍රයන්හී යෙදී ආහාර අනුභව කරමින් එම ආගමික උත්සව අවස්ථාව සංකේතවත් කරන ලදී.

මෙම උත්සවයේ ඉෆ්තාර් චාරිත්‍ර වාරිත්‍රයන් පැවැත්වීම සඳහා දායකත්වය දැක්වූ මවුලවිතුමන්ලා දෙපල වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ලුතිනන් කර්නල් ජේ.කේ. ජලාල් විසින් ස්තුති කතාව පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණිය සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ නියෝජ්‍ය සභාපතිණිය ජානකි ලියනගේ මැතිණිය ඇතුලු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක් වූහ.