Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2022 19:40:12 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් විසින් කුරුණෑගල ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව රුපියල් 350,000/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 100 ක් අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (16) දින 233 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ගේ ඉල්ලීමකට අනුව සීමාසහිත කුරුණෑගල Murugan Business Ltd සමාගමේ හිමිකරු සුරේෂ් මහතා විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වය ලබාදුන්නේය.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මේ අතර, එම පරිත්‍යාගශීලියා විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත 233 වන බලසේනාවේ භටපිරිස් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි පනිච්චන්කර්නි තිරුමගල් විද්‍යාලය, කණ්ඩලඩි අරුන්දතී විද්‍යාලය, වම්මිරද්දවාන් විද්‍යාලය සහ වාකරේ මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2022 අප්‍රේල් මස 17 දින පවත්වන ලදී.

මෙම වැඩසටහන 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ එම පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමවුපියන් ද සහභාගි වූහ.