Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2022 08:22:24 Hours

යුද්ධ හමුදා භටපිරිස් දියේ ගිලෙමින් සිටි සිවිල් වැසියන් දෙදෙනෙකුගේ දිවි බේරාගනි

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උරඹකුලම් වැවේ ඉකුත් අඟහරුවාදා (05) දින මැනුම් කටයුතුවල නිරතව සිටි සිවිල් වැසියන් දෙදෙනෙකු ගමන්ගත් ඔරුව හදිසියේ පෙරලී දියේ ගිලෙමින් සිටි බව සැලවූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනාවේ භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී එම පුද්ගලයින් දෙදෙනාගේ දිවි ගලවා ගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක විය.

උරඹකුලම් වැවේ මිනුම් කටයුතු සිදුකිරීම සඳහා භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යාංශයේ Technical Pvt Ltd ආයතනයට අනුයුක්ත වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන පුද්ගලයින් සිවිදෙනෙකුගෙන් සමන්විත මිනින්දෝරු කණ්ඩායමක් ගමන් කරමින් සිටි මෙම ඔරුව අනපේක්‍ෂිත ලෙස වැව මැදදී අනතුරට ලක්විය. එම අවස්ථාවේ ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකු ඔරුව ආධාරයෙන් වැව මැද්දට වී සිටි අතර අනෙකුත් පුද්ගලයින් තිදෙනා වැව් ඉවුර වෙත පිහිනා යාමට නොහැකිව දියේ ගිලෙමින් සිටියහ.

මෙම සිදුවීම සිදුවන විට පස්වරු 4.15 ට පමණ වන අතර දියේ ගිලෙමින් සිටි පිරිසගේ කෑගැසීමේ හඩ ඇසී ඒ අසල ප්‍රදේශයේ රාජකාරියේ නියුතුව සිටි 642 වන බලසේනාවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට පැමිණියහ. එම අවස්ථාවේදී 642 වන බලසේනාව යටතේ සේවයේ නියුතු මේජර් එච්.පී.එස්.පී පීරිස් සහ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එස් වෙළබඩගේ එක්ව තම ජීවිත අවධානම ද නොසලකමින් දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් තිදෙනාගේ ජීවිත බේරාගැනීමට සමත්විය.

කෙසේ වෙතත්, එක් පුද්ගලයෙකු ඔරුව සමඟ ජලයේ ගිලී අතුරුදන් වී ඇති බව සොයාගෙන තිබේ. බේරාගත් සිවිල් වැසියන් දෙදෙනා වෙත යුද්ධ හමුදා නිලධාරීන් විසින් ප්‍රථමාධාර ලබා දී කඩිනමින් රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

අනතුරුව දියේ ගිලි අතුරුදහන් වූ පුද්ගලයා සොයා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමඟ සිවිල් වැසියන් සහ 642 වන බලසේනාවේ භටපිරිස් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර එහිදි පස්වරු 6.30 ට පමණ අතුරුදහන් වූ පුද්ගලයාගේ මළ සිරුර සහ ඔරුව සොයා ගන්නා ලදී.