Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2022 20:35:57 Hours

ජාතික සංවර්ධන කාර්යභාරයට තවත් ආධුනික සෙබලුන් 412 දෙනෙකු එක්වෙයි

යාපනය වාසවිලාන් බලඇණි පුහුණු පාසල තුළින් පුරා මාස හතරකට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 412 දෙනෙකු පසුගිය සෙනසුරාදා (09) දින පැවති විසිරයාමේ පෙළපාලියකදී විසිර ගියහ.

දෙමළ සහ සිංහල භාෂාව කතා කිරිමේ හැකියාව ඇති තරුණයින්ගෙන් සමන්විත මෙම ආධුනික පුහුණු පාඨමාලාව තුළින් වෘත්තීය සොල්දාදුවන් පුහුණු කරනු ලැබු අතර, ඔවුන් මෙම පුහුණුව තුළින් යුද්ධ හමුදාවේ අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා ශාරීරිකව, මානසිකව සහ සදාචාරාත්මක සොල්දාදුවන් බවට පරිවර්ථනය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන යුද්ධ හමුදා ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ බලගන්වමින් යාපනය වාසවිලන් බලඇණි පුහුණු පාසලේ පාඨමාලා අංක 2 යටතේ සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණයින් මාස හතරක සාර්ථක පුහුණු කාලසීමාවකින් පසු විනයගරුක සොල්දාදුවන් ලෙස දේශයේ සංවර්ධන කාර්යයන් සඳහා සේවය කිරීමට මෙලෙස විසිර ගියහ.

විසිරයාමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහභාගි වූ අතර එහිදි එතුමන් ආධුනික සෙබළුන් අමතමින් සෙබළෙකුගේ වගකීම් සහ විනය පවත්වාගැනීමේ වැදගත්කම, රාජකාරි නිසි ලෙස ඉටුකිරීම යනාදී කරුණු පිළිබඳ අවධාරණය කළේය. තවද, සෙබළෙකුගේ කාර්යභාරය වියයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී, සිවිල් පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම්වලට ගරු කිරීමේ රාමුවක් තුළ වගකීමෙන් යුතුව ඔවුන්ගේ මෙහෙවර ඉටු කිරීම බවත් එතුමන් පැහැදිලි කළේය.

බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් ඒ. එස් කණ්ඩම්බි විසින් පුහුණු පාසලේ සේනාවිධායකගේ මඟපෙන්වීම මත මෙම පුහුණු පාඨමාලාව අධීක්‍ෂණය කරන ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ආධුනික සෙබල ජී.ඒ.ඩී සාගර විසින් හිමිකරගත් අතර සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය ආධුනික සෙබල පී.එස්.පී ජයවර්ධන විසින් හිමිකරගත්තේය. තවද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලාට හිමි සම්මානය ඒ.පී ජයසේන විසින් හිමිකරගත්තේය. ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් පාඨමාලාවේ දක්‍ෂතම සිසුන් වෙත සම්මාන ප්‍රදානය කරන ලදී.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයාමේ පෙළපාලිය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බලඇණි පුහුණු පාසලේ උපදේශක නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වූහ.