Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2022 19:47:19 Hours

“ඔබේ අමිල පරිත්‍යාගයන් කිසිවකුටත් හෑල්ලුවට ලක්කිරීමට නොහැකි බව” ‘අභිමංසල’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් හමුවේ යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සුරැකීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිව තම ජීවිතය සහ අත් පා පුදකරමින් එදා යුදබිමේ සතුරාට එරෙහිව සටන්වැදුනු ආකාරයත්, යුද බිමේදී දැක්වූ නිර්භීතකම සහ උත්තරීතර පරිත්‍යාගයන් යළි ආවර්ජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අප්‍රේල් මස 13 දින සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ප්‍රථම ‘අභිමංසල’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බලනු ලැබීය.

එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය නායකත්ව ගුණාංගයන් පිළිබිඹු කරමින් එම පරිශ්‍රයේ සුවය ලබන රණවිරුවන් වෙත ගොස් ලබන්නා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන් වෙත ටැබ් යන්ත්‍රයක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත ත්‍යාග පාර්සලය බැගින් පරිත්‍යාග කරනු ලැබීය.

එමෙන්ම, ‘අභිමංසල’ සුවතා නිකේතන පරිශ්‍රයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සහය දක්වන අනෙකුත් රණවිරුවන් වෙහෙස මහන්සිය නොබලා සිදුකරනු ලබන කාර්යභාරය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත ජංගම දුරකථනය බැගින් පරිත්‍යාග කිරීමට ද යුද්ධ හමුදාධිපතිතුමන් කටයුතු කළේය.

ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම රණවිරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ ප්‍රතිකාර කටයුතුවල ප්‍රගතිය, පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතාවයන් සහ අනෙකුත් ගැටළු පිළිබඳව ද විමසා බලන ලදී.

“අපගේ මාතෘභූමිය දෙකඩ කිරීමට එරෙහි සටනේ සාමාජිකයන් වූ ඔබ සැවොම, රාජකාරි සීමාවෙන් ඔබ්බට කටයුතු කරමින්, අද අප සැවොම භුක්ති විඳින සාමය, නිදහස සහ සුවපහසුව සාක්‍ෂාත් කරගැනීම සඳහා කැපවීමෙන් සටන් බිමේ රැඳීසිටියහ. රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඔබ නිර්භීතව කටයුතු කරමින් ඔබේ අත් පා පූජාකර සිදුකළා මෙන් අමිල පරිත්‍යාගයක් සිදුකිරීමට අන් කිසිවෙකුත් එඩිතර නොවනු ඇත. ඔබ මේ වනවිට ඔබේ ආදරණීයන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් ඈත්ව සිටින නමුත් ඔබ දැක්වූ වීරෝදාර කැපවීම අප අගය කරන්නෙමු. මේ රටේ ජීවත්වන කෘතවේදී ජනතාවගෙන් බහුතරයක් ඔබට එම ගරුත්වය ලබාදෙන බව මා හට විශ්වාසයි. අපේ මුතුන්මිත්තන්ගේ මෙම දේශයට සාමය ගෙනදුන් ඔබේ අසමසම සටන්කාමීත්වයේ මතකයන් ඔවුන් සතුව සදාකාලිකව පවතිනු ඇති බව රණක්‍ෂිතයට පත් රණවිරුවන් අමතමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන ලදී.

අපගේ භටපිරිස්හී හැකියාවන් තුලින් ජයග්‍රහණය ඉල්ලා සිටීමට එවකට දහස් ගණන් සිටියත් කෙටි කාලයක මතකයන් ඇති සමහර පටු අදහස් සහිත මිනිසුන් ඔබගේ කැපවීම අමතක කර නොසලකා හැරීමට කටයුතු කරනු ලබන අතර ඔබේ ලෙයින් සහ දහඩියෙන් මේ රටට ලබාදුන් නිදහස ඇතැමුන් හෑල්ලුවට ලක්කරයි. ඔබ සැමට අවශ්‍ය වූයේ වසර 30 ක ත්‍රස්තවාදී උවදුරින් රට මීළඟ පරම්පරාවට සහ ඉපදීමට සිටින දරුවන් වෙනුවෙන් අප මවුබිම මුදවාගැනීම වන අතර ඒ වෙනුවෙන් අපගේ අභීත ත්‍රිවිධ හමුදාව ඇතුළු සියළුම ශ්‍රී ලාංකිකයන් එක්ව නැගීසිටිමින් විනාශකාරී යුද්ධය අවසන් කිරීමට මාවත විවර කරදුන්නා. එමෙන්ම, අදටත් දිවයින පුරා ගංවතුර වැනි ස්වභාවික විපතකදී ද අපගේ භටපිරිස් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබයි. පසුගිය කාල වකවානුවේ කොවිඩ් - 19 වසංගතයට එරෙහිව අපගේ භටපිරිස් කටයුතු කළ ආකාරය සහ නිරෝධායන ක්‍රියාපටිපාටිය සහ අනෙකුත් අවශ්‍යතා කඩිනමින් සැපයීමට ද කටයුතු කළ බව” එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරාන් ඒකනායක, අනුරාධපුර අභිමංසල සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජීවන් ගුණරත්න ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් සහ තවත් නිලධාරින් පිරිසක් එක්වූහ.