Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2022 10:22:24 Hours

ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ සැබෑ ආරක්‍ෂකයා වන ගරු මයිකල් නේස්බි සාමි විසින් රචිත ග්‍රන්ථයක් එළිදක්වයි

ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික කණ්ඩායමේ සම සභාපතිවරයා මෙන්ම බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්‍ෂ (British Conservative Party politician) දේශපාලනඥයෙකු වන ගරු මයිකල් නේස්බි පීසී සාමි (Rt Hon the Lord Michael Naseby PC) විසින් රචනා කරන ලද ‘ Sri Lanka: Paradise Lost; Paradise Regained ’ නම් ග්‍රන්ථය බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුමස්රණ ශාලාවේදී පසුගිය අඟහරුවාදා (29) දින සන්ධ්‍යාවේ එළිදක්වන ලදී.

එම සුවිශේෂි අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු විද්වත් දේශප්‍රේමීන් පිරිසක් සම්භාවනීය ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වය සහ එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ජන සංහාර චෝදනාවලට එරෙහිව ශ්‍රී ලංකාවේ ස්ථාවරය ආරක්‍ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ විවිධ දේශපාලන ධුරාවලියන් වෙත එතුමන් විසින් සම්පාදනය කරන ලද ලිපි ලේඛන සහ ඒ ආශ්‍රිත මතකයන්හි සටහන් ඇතුලත් පිටු 54 ක ඇමුණුම් සහිත පරිච්ඡේද 19 කින් සමන්විත පිටු 333 කින් යුත් ග්‍රන්ථය එහිදී එලිදැක්විණී.

වර්ෂ 1974 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබු ගරු මයිකල් නේස්බි සාමි වර්ෂ 1992 සිට 1997 දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස ද කටයුතු කරන ලදී.

ගරු මයිකල් නේස්බි සාමි ශ්‍රී ලංකාවේ දේශපාලන හා රාජ්‍ය පරිපාලනයට මෙන්ම හමුදාවට එරෙහිව එල්ල වී ඇති අසත්‍ය තොරතුරු ප්‍රතික්‍ෂ්ප කිරීමට මෙම ග්‍රන්ථයෙහි තොරතුරු ඉදිරිපත්කර ඇත.

UNHCR, Amnesty International, Human Rights watch වැනි සංවිධාන සහ බටහිර රටවල යම් මාධ්‍ය නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රටේ නායකත්වය පිළිබඳව එල්ල කරන සාවද්‍ය චෝදනා තරයේ ප්‍රතික්‍ෂ්ප කරන අතර, එම සංවිධාන සහ එම රට වල ක්‍රියාත්මක වන දෙමළ ඩයස් පෝරාව විසින් ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, අගමැති කැරමරන්, විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ඇමරිකා එක්සත් ජනපදයේ හිලරි ක්ලීන්ටන් වැනි දේශපාලඥයින්ට පවා සාවද්‍ය අවබෝධයක් ලබාදී ඇත.

මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා මූලික වශයෙන් එතුමන්ගේ පෞද්ගලික නිරීක්ෂණ සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ගැෂ් (Colonel Gash) හා ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නිලධාරීන් විසින් සම්පාදනය කරන ලද ලිපි ලේඛණ මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී පාදක කරගෙන ඇත.

එල්ටීටීඊ ත්‍රස්ථාදින් සහ ශ්‍රී ලංකා රජය අතර පැවති සාම සාකච්ඡා වට කීපයක් අසාර්ථක වූයේ මෙරට බහුතර සිංහල ජාතීය සහ සුළු ජාතීන් අතර පවතින ජනවාර්ගික ප්‍රශ්නය එල්ටීටීඊ ත්‍රස්ථාදින් විසින් ප්‍රධාන උපක්‍රමය ලෙස භාවිතා කිරීම බව ගරු මයිකල් නේස්බි සාමි වැඩි දුරටත් පෙන්වා දෙයි.

ඉන්දියාව, එක්සත් ජනපදය වැනි රටවල බලපෑම් සහ යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන මගින් පැනවූ තහනම් නියෝග හේතුවෙන් වසර 30 ක් පුරාවට මෙම සන්නද්ධ ගැටුම වර්ධනය වී ඇති අතර, එම නිසා ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙවැනි දිගු කාලීන අභ්‍යන්තර යුධ තත්වයන් හේතුවෙන් රටේ ආර්ථික, සමාජ සහ ජාතීන් අතර ඇති මානව සබඳතා සඳහාද විශාල අහිතකර බලපෑමක් ඇති වූ බව මෙහි පෙන්වා දෙයි.

මානූෂිය මෙහෙයුම ජයග්‍රහණය කිරීම පිළිබඳ එල්ටීටීඊ සංවිධානය තුල පැවති දැඩි විශ්වාසය මත දීර්ඝ කාලීන සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබීමට එල්ටීටීඊ සංවිධානයේ පැවති අකමැත්ත හේතුවෙන් ශ්‍රී ලංකා හමුදාවට මානූෂිය මෙහෙයුම යුධමය ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකිවන්නට ඇතැයි එහි තවදුරටත් සඳහන් කරයි.

බටහිර බලවතුන් ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළ ශ්‍රී ලංකාවේ අස්ථාවරභාවයෙන් ප්‍රතිලාභ ලැබුවේ දැයි ශ්‍රී ලංකාවේ යුදමය තත්ත්වය පිළිබඳ ස්වාධීන විවේචකයෙකු ලෙස මම කල්පනා කිරීමට පටන් ගතිමි, යනුවෙන් එහි අදහස් දක්වා ඇත.

නේස්බි සාමි සිය විශ්ලේෂණයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ එල්ටීටීඊයට යටත් වූ පොලිස් භටයන් 600ක් (1990 ජූනි 11 වැනිදා) සමූල ඝාතනය වැනි විශේෂිත සිදුවීම් ගැන සඳහන් කර ඇත. ‘‘ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් අතර ගැටුමේ විශාලතම යුද අපරාධ වලින් එකක් ’’ ලෙස එතුමන් මේ පිළිබඳව පෙන්වා දී ඇත. දෙමළ කොටින් විසින් යාපනයේ මුස්ලිම් ජාතිකයින් 72,000 කට පැය 24 ක් ඇතුළත පිටව යන ලෙස බල කිරීම සහ යාඥා මෙහෙයකට සහභාගි වෙමින් සිටි මුස්ලිම්වරුන් 300ක් ඝාතනය කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ජනවාර්ගික ඝාතනයක්’ ලෙස සැලකේ.

ගරු මයිකල් නේස්බි සාමි කිසි දිනක එල්ටීටීඊ නායක ප්‍රභාකරන් මුණගැසී නොතිබූ නමුත් ඇන්ටන් බාලසිංහම්ගේ උපායමාර්ගික චින්තනය සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කර ඇත. බාලසිංහම්ගේ ප්‍රවේශය මුල සිටම දෝෂ සහිත විය. ගැටුම් නිරාකරණය කිරීමේහිලා නෝර්වීජියානු ප්‍රයත්නයන් අපේක්‍ෂිත ප්‍රතිඵල ගෙන දී නැත.

ගරු මයිකල් නේස්බි සාමිට අනුව, එවැනි විනාශකාරී සිදුවීම් වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා පැවති යුධමය වාතාවරනයෙන් පසුව සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට එක්සත් ජාතීන් වැඩි කැමැත්තක් දැක්වූහ. එක්සත් රාජධානියේ දෙමළ ඩයස්පෝරා ඡන්දවලින් බියට පත් වූ බ්‍රිතාන්‍ය රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කර ඇති බව පෙනේ.

යුද්ධයේ අවසන් වකවනුව පිළිබඳව මිනිසුන් මියයාම සම්බන්ධයෙන් ගරු මයිකල් නේස්බි සාමි මෙසේ ප්‍රකාශ කරයි. “වැඩි වශයෙන් දමිළ නිලධාරීන් විසින් මරණයට පත්වූවන් පිළිබඳව සිදුකරන ලද ජන සංගණනයට අනුව 6,000 ත් 7,000 ත් අතර පිරිසක් සිටින නමුත් එයට දෙමළ කොටින්ගේ මරණ ද ඇතුළත් ය. එය කිසිදාක, දස දහස් ගණනකට හෝ අවම වශයෙන් 40,000කට ආසන්න නොවන බව, දරුස්මාන් වාර්තාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති බව පැහැදිලිය. එක්සත් රාජධානියේ රජය 2009 මැයි 19 වන විට යුද්ධයේ අවසානයේ 40,000 ක පමණ මරණ බලාපොරොත්තු වූ අතර, එය අතිශයෝක්තියක් බව දැන සිටි නමුත් කිසි විටෙකත් එසේ නොකළ බව පැහැදිලිය. එය එලෙස වූයේ කුමන හේතුවක් නිසාවෙන්දැයි මට පුදුමයි.” (පිටු 189-190) සඳහන් වේ.

OHCHR (මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය) විසින් 2015 මාර්තු මාසයේදී ‘ශ්‍රී ලංකාව පිළිබඳ කාර්යාල විමර්ශනය’ යන මාතෘකාවෙන් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව යුද්ධයේදී ෂෙල් වෙඩි ප්‍රහාර, ආහාර හිඟය හා සම්බන්ධ බොහෝ සාවද්‍ය තොරතුරු අඩංගු බව නේස්බි සාමි වැඩිදුරටත් ප්‍රකාශ කරයි. (පිටුව 189). නේස්බි සාමි පෙන්වා දෙන පරිදි, ‘‘ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සහ නීත්‍යානුකූල ශ්‍රී ලංකා රජය සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් වන එල්ටීටීඊ දෙමළ කොටි සංවිධානය අතර යුද්ධයක් බවට එම වාර්තාව ඉතා පැහැදිලි සත්‍යය නොසලකා හරියි’’. සටන් කිරීම සහ සටන් බිමෙහි පැවති තත්වයන්ට එරෙහිව සටන් කිරීම පිළිබඳව, මානව හිමිකම් පිළිබඳ යුරෝපීය සම්මුතියේ සඳහන් තොරතුරු සම්පූර්ණයෙන්ම පරස්පර බව මෙම ග්‍රන්ථයෙන් වැඩි දුරටත් විශ්ලේෂණය කර පෙන්වයි.