Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2022 20:33:06 Hours

23 වන සේනාංකයෙන් ක්‍රිකට් පුහුණු වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මූලස්ථානය වෙතින් පසුගිය අඟහරුවාදා (15) දින පාසල් සිසුන් සඳහා ක්‍රිකට් පුහුණු කිරීමේ සැසියක් වාකරේ මහා විද්‍යාලයේදී ක්‍රියාත්මක කරන ලදී.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පුහුණු වැඩමුළුව සඳහා මඩකලපුව, වාකරේ මහා විද්‍යාලයේ සහ කදිරවේලී විග්නේෂ්වරම් මහා විද්‍යාලයේ සිසුන් සහභාගී වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැගෙනහිර පළාත් පුහුණු උපදේශක ජේ.ඒ.එම්. ෆාසිල් මහතා සහ පී.කේ. අන්වර්දීන් මහතා විසින් මෙම පුහුණු වැඩමුළුව මෙහෙයවනු ලැබීය. ඒ සඳහා පාසල් දෙකෙහිම සිසුන් 35 දෙනෙකු සහභාගී වූ අතර වාකරේ ප්‍රදේශයේ පාසල් සිසුන්ට ප්‍රථම වරට ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩා අත්දැකීම ලබාගැනීමට හැකිවිය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගේ යෝජනාවකට අනුව සංවිධානය කළ මෙම වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ, 233 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි, 6 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, පුහුණු කාර්ය මණ්ඩලය, පාසල් දෙකෙහි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ද එක්වූහ.