Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2022 20:38:55 Hours

1 වන බලකායේ නව බලකාධිපතිතුමන් රාජකාරි අරඹයි

1 වන බලකායේ දෙවන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න පසුගිය සඳුදා (14) දින කිලිනොච්චියේ පිහිටි 1 වන බලකා මූලස්ථානයේදී ආගමික වතාවත් සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.

නව බලකාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියත් සමඟ උත්සවයේ ආරම්භය සනිටුහන් වූ අතර 1 වන බලකා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත කමාන්ඩෝ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනමනු ලැබූහ. ඉන් අනතුරුව, 1 වන බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජේ.පී.සී. පීරිස් ගේ ආරාධනාවකට අනුව 5 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ සම්මාන මුරය පිළිගැනීම සඳහා නව බලකාධිපතිතුමන් එක්විය.

ඉන් අනතුරුව, ආගමික වතාවත් සහ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලින් අනතුරුව මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනාවන් මධ්‍යයේ මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 1 වන බලකායේ බලකාධිපතිතුමන් එම බලකාය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට ද එක්විය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

නව බලකාධිපතිතුමන් ‘නෙළුම්පියස’ බහුකාර්ය ශාලාවේදී භටපිරිස් ඇමතූ අතර, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් 1 වන බලකායේ නව බලකාධිපතිතුමන් එම මූලස්ථාන පරිශ්‍රයේ පැවති සියළුනිල තේ පැන් සංග්‍රහයකට ද එක්විය. මෙම උත්සවය කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.