Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2022 07:08:40 Hours

52 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 28 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් උදය හේරත් පසුගිය සඳුදා (14) දින රාජකාරි භාරගන්නා ලදී.

එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් උදය හේරත් වෙත 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය. පසුව, එම සේනාංකයේ කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් උදය හේරත් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයන් ඇමතුවේය. පසුව මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 52 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන්ද එක්වූහ.

බ්‍රිගේඩියර් උදය හේරත් මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම අධ්‍යක්‍ෂ පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම යුද්ධ හමුදා පුහුණු අණසක හි රාජකාරි හෙබවීය.