Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2022 14:08:00 Hours

මවුබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත නව නිවසක්

දිවංගත ලුතිතන් කර්නල් කේ.එල්.කේ. නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අනුස්මරණය කරමින් ගනේමුල්ල, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ රුපියල් මිලියන 1.5 ක පිරිවැයක් දරමින් ඉදිකරනු ලැබූ නව නිවස අද (18) දින උදෑසන පැවති උත්සවයකදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ලුතිතන් කර්නල් කේ.එල්.කේ. නානායක්කාර (මියගිය) ගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙන ලදී.

මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී මුලතිව් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමේදී වර්ෂ 2009 පෙබරවාරි මස 01 දින පෙරවරු 0600 ට පමණ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හමුවේ 7 වන ගැමුණු හේවා බලකායේ ලුතිතන් කර්නල් කේ.එල්.කේ. නානායක්කාර ජීවිතක්‍ෂයට පත්විය.

7 වන ගැමුණු හේවා බලකාය සහ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය ඒකාබද්ධව මෙම නව නිවස ඉදිකිරීමේ කටයුතු සඳහා මූලිකත්වය ගනිමින් රුපියල් මිලියන 1.5 ක පිරිවැයක් ඒ වෙනුවෙන් වැයකරනු ලැබීය. වර්ෂ 2020 ජුනි මස 19 දින ආරම්භ කරනු ලැබූ මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රමාද විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන විශේෂ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති අංක 05 යටතේ මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩය වෙතින් රුපියල් ලක්‍ෂ 12 ක් සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් රුපියල් ලක්‍ෂ 3 ක් වෙන් කරනු ලැබීය. ලුතිතන් කර්නල් කේ.එල්.කේ. නානායක්කාර මීට අවුරුදු 15 කට ප්‍රථම මවුබිම වෙනුවෙන් දිවිපිදූ අතර එතුමන් මියයන විට වයස අවුරුදු 02 ක්ව සිටි සිය දියණිය සහ එතුමන්ගේ භාර්යාව වන පී. ඉරෝෂීනී මහත්මිය වෙත එම කාලයේ සිටම නිවසක අවශ්‍යතාවයක් පැවතිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලුතිතන් කර්නල් කේ.එල්.කේ. නානායක්කාර (මියගිය) ගේ දියණිය සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපතිතුමන් විසින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣයනා මධ්‍යයේ දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ දියණිය වන සෙත්මි අයේන්ද්‍රා නානායක්කාර සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්ව පීත්ත පටිය කපා නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම දියණිය වෙත නව නිවසේ යතුරු භාරදෙනු ලැබීය.

ඉන් අනතුරුව, උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සිදුකරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා සියලුම සම්භාවනීය අමුත්තන් එක්වූහ. ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් දිවංගත ලුතිතන් කර්නල් කේ.එල්.කේ. නානයක්කාර ගේ පවුලේ සාමාජිකයින් වෙත විශේෂ තිළිණයක් ප්‍රධානය කරමින් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුබපැතුම් එක්කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව නිවාස අවශ්‍යතා සහිත මවුබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත වික්‍රමසේන සහ රණවිරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මංජුල මායාදුන්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.