Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2022 20:57:25 Hours

1 බලකායේ බලකාධිපති සිය ධූරයෙන් නික්ම යයි

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 1 බලකායේ ප්‍රථම බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (12) දින කිලිනොච්චියේ පිහිටි 1 බලකා මුලස්ථානයේදී පැවැත්විණි.

1 බලකා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත ප්‍රධාන දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනමනු ලැබූහ. ඉන් අනතුරුව, එම බලකායේ සරඹ භූමියේදී 5 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සම්මාන මුරයක් ද පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ එම බලකා මූලස්ථානයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය. පසුව, 1 බලකාය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ කණ්ඩායම් ඡායාරූප කිහිපයකට ද එතුමන් පෙනීසිටියේය.  

ඉන් අනතුරුව, විශ‍්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති විසින් ‘නෙළුම්පියස’ බහුකාර්ය ශාලාවේදී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එතුමන්ගේ වසර 35 ක සේවා කාලය පිළිබඳ මතකයන් ආවර්ජනය කළ අතර, එම සේවා කාලය පුරාවට තමාට සහයෝගය දැක්වූ සියළුදෙනා වෙත කෘතඥතාව පළ කළේය. යුද්ධ හමුදාවේ කීර්ති නාමය ආරක්‍ෂා කරමින් කැපවීමෙන් ඉදිරියටත් රාජකාරි කටයුතු සිදුකරන මෙන් සියළුදෙනාට උපදෙස් ලබාදුන්නේය.  

අනතුරුව, මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ යුද්ධ හමුදාවට සහ 1 බලකා මූලස්ථානය ස්ථාපිත කිරීම වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවය ඇගයීමට ලක්කරමින් 1 බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.  

විශ‍්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සුබපැතුම් පිරිනැමීම සඳහා සේනාංකාධිපතිරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් එක්ව සිටියහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම බලකා මූලස්ථාන පරිශ්‍රයේ පැවති සියළුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගී විය. මෙම උත්සවය කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.