Header

Sri Lanka Army

Defender of the Nation

19th March 2022 08:40:44 Hours

මාතලේ ‘වී.ටී. නානායක්කාර’ උද්‍යානයේ යුද්ධ හමුදාවෙන් ඉදිකල නව ඇවිදීමේ මංතීරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ජනතා අයිතියට

යුද්ධ හමුදා භටපිරිස් විසින් නාගරික සංවර්ධන අධිකාරිය සහ මාතලේ නගර සභාව සමඟ ඒකාබද්ධව මාතලේ නගරයට ආසන්නයේ පිහිටා ඇති ‘වී.ටී. නානායක්කාර’ උද්‍යානයේ අභිනවයෙන් ඉදිකරන ලද ඇවිඳීමේ මංතීරුව ඉරිදා (13) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනතා අයිතියට පත් කෙරිණි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්ව මේ සඳහා ලබාදුන්හ. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබාදුන් දායකත්වය මත 17 වන ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් මීටර් 865 ක් දිග ඇවීදීමේ මංතීරුවක් සහිත මෙම නව උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

උදෑසන 10.20 ට යෙදුණු සුබ මොහොතින් පීත්ත පටිය කපා නව උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් අග්‍රාමාත්‍යතුමන්ගේ ලේකම් අනුර දිසානායක, මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) උදය නානායක්කාර සහ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරු ද සහභාගි වූහ.

නව උද්‍යානය විවෘත කිරීමෙන් අනතුරුව උද්‍යාන පරිශ්‍රය නිරීක්‍ෂණය කල සම්භාවනීය ආරාධිත අමුත්තන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් ලබාදුන් තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය පැසසුමට ලක් කළහ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශණයට සමගාමීව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මාතලේ ප්‍රදේශයේ පිහිටි ආකර්ෂණීය ස්ථානයන්ගෙන් එකක් වන මෙම ‘වී.ටී. නානායක්කාර’ උද්‍යානය ස්වභාවධර්මයේ ආශ්වාදයන් අත්විඳිමින් විවේකීව කාලය ගතකිරීමට නිර්මාණය කරන ලද උද්‍යානයකි. මෙම උද්‍යානය නරඹන ඔබට විවිධ ශාක වර්ග, පක්‍ෂීන්ගේ නාදයන් සහ සිසිල් සුළඟේ මියුරුබව අත්විඳීමේ අවස්ථාව නිරන්තරයෙන් හිමිවනු ඇත.

මෙම උත්සව අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව, 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක සහ 17 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරි සහභාගී වූහ.