Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2022 14:55:32 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට යුද්ධ හමුදා කාන්තා සෙබළියන් එක්වෙයි

මාතෘ භූමියේ ආරක්‍ෂාව උදෙසා උත්තරීතර කැපකිරීමක් සිදුකරන යුද්ධ හමුදා කාන්තා සෙබළියන් ඇතුළු සමස්ත කාන්තාවන් ඇගයීමට ලක් කරමින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සුබසාධන ව්‍යාපෘති රැසකට මංපෙත් විවර කරන ‘සෙනෙහසේ කැදැල්ල’ තේමාව පෙරදැරි කරගත් විශේෂ වැඩසටහනක් අඟහරුවාදා (08) දින උදෑසන පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණියගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උණුසුම් අයුරින් පිළිගත්තේය. කාන්තාවන්ගේ අභිමානය සහ සමාජයට කාන්තාවන්ගේ වැදගත්කම ඉස්මතු කරමින් සංගීතාස්වාදයෙන් හැඩවු මෙම වැඩසටහන ‘ටීවී දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් වර්ණවත් කරන ලදී.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. උත්සවයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින්, රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විරෝදාර රණවිරුවෙකුගේ කාලත්‍රයාට සහ කාන්තා සෙබළියන් 6 දෙනෙකුට වෛද්‍යාධාර, නිවාස ආධාර සහ අනෙකුත් අවශ්‍යතා සඳහා රුපියල් මිලියන 1.2 ක මුල්‍යමය ප්‍රතිපාදනය ප්‍රදානය කෙරිණි.

කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබළියන් 350 කට අධික පිරිසක් සහභාගි වු මෙම වැඩසටහන කීර්තිමත් ගී පද රචකයෙකු සහ සංගීතවේදියෙකු වන දම්මික බණ්ඩාර මහතා විසින් සංගීතමය වශයෙන් අර්ථකථනය කර සෞන්දර්යාත්මක රසය විඳහා දැක්වූහ.

තවද, එම උත්සවය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකය මගින් පල්ලෙකැලේ පිහිටි යුද්ධ හමුදා රෝහලට රුපියල් ලක්‍ෂ 7 ක වටිනාකමින් යුත් අත්‍යාවශ්‍ය උපකරණ තොගයක් රෝගීන්ගේ පරිහරණය සඳහා පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එරංගා හේවාවසම් මහත්මිය විසින් එම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සංකේතාත්මකව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය වෙත මෙම උත්සවය අතරතුරදී භාරදුන්නේය.

මෙම පරිත්‍යාගශීලිත්වයට කෘතඥතාවය පුදකළ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය මෙම වැඩසටහන සඳහා ‘ටීවී දෙරණ’ මාධ්‍යජාලයේ නිලධාරින් සහ කාර්යමණ්ඩලය ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරමින් සමරුතිළිණ ද ප්‍රදානය කළාය.

වැඩසටහන අවසානයේ මෙම අවස්ථාවට සහභාගි වු සියලුදෙනාට ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කෙරිණි. මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එම ස්ථානයේ රූපලාවන්‍ය වැඩමුළුවක් පවත්වමින් ‘ලියා’ පුද්ගලික සමාගම (Lia Private Limited) මෙම වැඩසටහනට විවිධත්වයක් එක් කළේය.

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති මෙම වැඩසටහනට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ නිලධාරි බ්‍රිගේඩියර් තුෂාර බාලසුරිය ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙන්ම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන් සහ සාමාජිකාවන් කිහිපදෙනෙකු සහභාගි වුහ.