Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2022 15:16:38 Hours

යුද්ධ හමුදා ඉංජිනේරුවන්ගේ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් දින පහකින් පරෙවි දුපතට නව පාලමක් ඉදිකෙරේ

මාතර පරෙවි දූපතේ පිහිටි ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝෂිතාගාරය වෙත ප්‍රවිෂ්ට වීමට ස්ථාපිත කර තිබු එල්ලෙන පාලම පසුගියදා හදිසියේ කඩා වැටිමත් සමඟ යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා වෘත්තීය නිපුණත්වය යොදාගනිමින් සතියකටත් අඩු කාලයකදී තාවකාලික පාලමක් ඉදිකරන ලදී. මාතර නගරයත් පරෙවි දුපත් යා කරමින් අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ ඉදිකල නව පාලම අද (12) දින විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත් බැතිමතුන්ගේ ගමනාගමනය සඳහා විවෘත කෙරිණි.

ශ්‍රී රෝහණ සංඝ සභාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘උපසම්පදා පූණ්‍යකර්මය’ (සාමනේර හිමිවරුන් පැවිදි කිරීම) මහාසංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නුදුරේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර තිබුණත් මීට දින කීපයකට පෙර සිදුවු අනපේක්‍ෂිත සිදුවීමත් සමඟ පරෙවි දූපත සහ ගොඩබිම අතර ගමනාගමනයට බාධා එල්ල විය. මුහුදේ පවතින රළ ස්වභාවයත් සමඟ පාලමක් නොමැතිව ගමන් කිරීම ජිවිත අවධානමක් ඇති කරන බැවින් එළඹෙන පුර පසලොස්වක පොහෝ දිනට පෙර තාවකාලික පාලමක් ඉදිකිරීමට ඒ අනුව ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන ලදී.

ශ්‍යාමෝපාලි මහා විහාරවංශික ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමිපාණන් ප්‍රමුඛ මහාසංඝරත්නයේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නවතමයෙන් ඉදිකල තාවකාලික පාලම විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. ‘සෙත් පිරිත්’ සඡ්ඣායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නවතමයෙන් ඉදිකල පාලම විවෘත කල යුද්ධ හමුදාධිපතිතුමන් පාලම මතින් පරෙවි දුපතට ගමන් කර විහාරස්ථාන වැඳපුදා ආගමික වතාවත්වල නිරතවිය.

ආගමික වතාවත්වලින් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාලමේ ඉදිකිරීම් කටයුතුවල නිමාව සනිටුහන් කිරීමේ සන්නස් පත්‍රය අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් වෙත ගෞරවාන්විතව පූජා කෙරිණි. ඉන් අනතුරුව, යුද්ධ හමුදාව දින පහක් වැනි කෙටි කාලයකදී සිදුකල කාර්යභාරය අගය කරමින් අනුනායක හිමිපාණන් විසින් සංකේතාත්මක සමරු තිළිණයක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ඉංජිනේරු බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් 14 වන රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය, 16 වන වැඩපල ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු බලකාය, 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකාය, 613 වන බලසේනාව සහ 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහයෝගය ඇතිව මෙම තාවකාලික පාලමේ ඉදිකිරීම් කටයුතු සතියකටත් අඩු කාලයකදී අවසන් කරන ලදී.

ඉතා කෙටි කාලයක් තුල මෙම පාලම ඉදිකිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කල ප්‍රධාන ක්‍ෂ්ත්‍ර ඉංජිනේරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලුම අණදෙන නිලධාරීන් සහ අනෙකුත් සෙබළුන් ප්‍රශංසාවට ලක් කරමින් සහතිකපත් ප්‍රදානය කිරීම එදින උත්සවය අතරතුරදී සිදුවිය. යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, සියලුදෙනා ආමන්ත්‍රණය කරමින් මේ සඳහා සහයෝගය ලබාදුන් සියලුදෙනාට ස්තූතිය පුද කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සවර්ණ බෝතොට, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංග පෙරේරා, 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු සහ අදාළ ඒකකයන්හි අණදෙන නිලධාරින් එක්ව දින කිහිපයක් තුල පරෙවි දුපතත් මාතර නගරයත් යා කෙරෙන මෙම තාවකාලික පාලම ඉදිකිරීම සඳහා යුහුසුළුව කටයුතු කරන ලදී.

මාතර නගරයත් පරෙවි දූපතත් යා කරමින් ඉදිකර තිබු සංචාරක ආකර්ෂණයක් දිනාගත් එල්ලෙන පාලම පසුගියදා හදිසියේ කඩාවැටීම පිළිබඳ සැලවීමත් සමඟ අතිගරු ජනාධිපතිතුමන් ශ්‍රී රෝහණ සංඝ සභාවේ වාර්ෂික ‘උපසම්පදා පූණ්‍යකර්මය’ පැවැත්වීම සඳහා ගමනාගමන පහසුකම් සැලසීමට කඩිනමින් පියවර ගන්නා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.