Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2022 18:05:00 Hours

ගුවන් හමුදා පාපැදි සවාරිය - 2022 හි සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව පැවැත්වු ‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2022’ හි සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම සමත් වූහ.

අඛණ්ඩව 23 වැනි වරටත් පැවත්වූ මෙම තරඟාවලියේ පිරිමි අංශයේ තරඟය 2022 මාර්තු මස 4 සිට 6 දින දක්වා අදියර 3 ක් යටතේ පැවැත්විණි. කිලෝමීටර් 412 ක දුරක් ආවරණය වන පරිදි පැවති මෙම තරඟාවලියට දිවයිනේ නන් දෙසින් තරඟකරුවන් සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් අවිශ්ක මැඩොන්සා තරඟාවලියේ අදියර තුනේම සමස්ථ ශූරතාවය දිනාගත් අතර, ඒ අනුව කණ්ඩායම් ශූරතාවය දිනාගැනීමට ද යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම සමත් විය.

පුත්තලම සිට කටුනායක දක්වා කිලෝමීටර් 100 ක දුරක් ආවරණය වන පරිදි ඉකුත් ඉරිදා (6) දින පැවති කාන්තා තරඟයේ පළමු ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ශාලිකා දිල්හානි සමත් වු අතර, ලාන්ස් කෝප්‍රල් මදුමාලි ප්‍රනාන්දු තරඟාවලියේ තෙවන ස්ථානය දිනාගත්තේය. ඒ අනුව කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය ද යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම විසින් දිනාගත්හ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය කටුනායක, ඊගල්ස් ලැගූන් වීව්(Eagle’s Lagoon View) උත්සව ශාලාවේදී පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහභාගි විය. ත්‍යාග ප්‍රදානෝත්සවයට ගුවන් හමුදා කලමණාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා පාපැදි සවාරියේ සභාපති ගුවන් කොමදෝරු කිත්සිරි ලීලාරත්න ඇතුළු අනුග්‍රාහකයින්ගේ නියෝජිතයින්ද සහභාගී වූහ.