Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2022 21:06:31 Hours

ශ්‍රී ලංකා සාම සාධක සෙබළුන්ගේ සුවිශේෂි කාර්යභාරය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතගේ ප්‍රශාංසාවට

මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) සිය රාජකාරි නිමාකර නැවත දිවයිනට පැමිණිමට පෙර ඔවුන් වෙත පදක්කම් පිරිනැමීමේ පෙළපාලිය පෙබරවාරි මස 11 වන දින පැවැත්විණි. “ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ බවත් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය විසින් පිරිනමන මෙම පදක්කම් පෙළපාලියට සහභාගි වු ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ සියලුම ශ්‍රී ලාංකීක සෙබලුන්ට සිය සුභපැතුම් එක් කරන බවත්” එම අවස්ථාවට සහභාගිවු මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත එල්-ගාසිම් වේන් මහතා (Mr El-Ghassim Wane) පැවසීය.

“පසුගිය වසරේ ඔබ මාලි රාජ්‍යයේ රාජකාරි සඳහා යෙදවීමෙන් පසු, ඔබ අභියෝගකාරී පරිසරයක සංග්‍රාමික රථ පෙළ නවයක් සඳහා ආරක්‍ෂාව ලබාදී ඇත. ඔබ කිසිවිටෙක සිය පැවරුම් රාජකාරි ඉටුකිරීම ප්‍රතික්ෂේප නොකල අතර ඕනෑම අභියෝගයකට මුහුණදීමට සුදානමින් සිටියේය. ඔබ පසුගිය වසරේ ඔපරේෂන් නෝර්දර්න් ගේට් - ටෙසාලිට් සහ ඇල්ජීරියාවේ මායිම අතර විමර්ශන මෙහෙයුමක් සිදුකලා. මෙම මෙහෙයුම, ඔබ දන්නා පරිදි, මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සැපයුම් මාර්ග විවිධාංගීකරණය කිරීමට සහ අපගේ සාම සාධක සෙබළුන් මුහුණදෙන ආරක්‍ෂක අවදානම අඩුකිරීමට දරන උත්සාහයේ කොටසකි. එවැනි ප්‍රදේශයකට ඔබ ගමන් කරන විට මම එම මෙහෙයුම ඉතා සමීපව අධීක්‍ෂණය කරනු ලැබුවා. ඔබ එහිදි ඉටු කළ නිර්භීතභාවය සහ වෘත්තීයභාවයට මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් එතුමන් වැඩිදුරටත් පැවසීය.

“සාම සාධක භටයෙකු සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් පදක්කමක් පිරිනැමීම ඔහුට කරන ගෞරවයකි. අද මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. ඔබ මාලි රාජ්‍යයේ මාස 9 කට ආසන්න කාලයක් රාජකාරි කර ඇත. තවත් මාස කිහිපයකින් ඔබ ඔබේ පවුලේ සාමාජිකයින් සහ ඥාතී හිතමිත්‍රාදීන් සිටින රට බලා පිටත්ව යනු ඇත.” යැයි එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත එල්-ගාසිම් වේන් මහතා (Mr El-Ghassim Wane) තවදුරටත් පැවසීය.

“මෙම අවස්ථාවේ මාලි රාජ්‍යයේදී දිවි අහිමි වු සහ තුවාල ලැබු ශ්‍රී ලාංකීක භටයන් පිළිබඳ මට අමතක කළ නොහැක. මෙම පදක්කම් පෙළපාලිය මීට සති කිහිපයකට පෙර මාලි රාජ්‍යයට පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණ ද අනපේක්ෂිත හේතුන් නිසා මෙම පෙලපාලිය කල් දැමීමට අපට සිදුවිය.” යනුවෙන් එතුමන් පැවසීය.

“මම මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ආඥාපති බමාකෝහිදී හමුවු අතර ඔබේ වෘත්තීයභාවය සහ ඔබ කර ඇති සුවිශේෂී කාර්යයන් පිළිබඳ මම ඔහු වෙත ප්‍රශංසා කළෙමි. එසේම, ඔබ රාජකාරි ඉටු කර ඇති සුවිශේෂිත්වය පිළිබඳව ආඥාපතිතුමන් ද සිය ගෞරවය පළ කළේය.”

“ඔබ සංග්‍රාමික රථ පෙළ ආරක්‍ෂා කිරීම, අපගේ ප්‍රධාන සැපයුම් මාර්ග ඔස්සේ ගමන් කිරීමේ නිදහස සහතික කිරීම සහ නැගෙනහිර හා උතුර යන අංශවල භඨකාර්ය සම්පාදන ස්වාධිපත්‍යය සහතික කිරීම වැනි රාජකාරි ඉටුකල සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයන්ගෙන් එකකි. මෙය පහසු කාර්යයක් නොවේ. ශ්‍රී ලංකා සාම සාධක භටපිරිස් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය යටතේ තම රාජකාරි හා වගකීම් ඉටුකරමින් බොහෝ ජයග්‍රහණ අත්කරගෙන ඇති බව මම ආඩම්බරයෙන් කියමි. මම ඔබ සැමට සුබපැතුම් එක් කරන අතරම ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි” යැයි එම අවස්ථාවට සහභාගිවු මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත එල්-ගාසිම් වේන් මහතා (Mr El-Ghassim Wane) පැවසීය.