Header

Sri Lanka Army

Defender of the Nation

07th March 2022 19:57:58 Hours

මහනුවර යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ නිරීක්‍ෂණයට

පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මුලස්ථානයට යාබදව අභිනවයෙන් ඉදිකරමින් පවතින නව යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින නිරික්‍ෂණය කරන ලදී.

මෙහිදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන්, රෝහලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ ඉදිකිරීම් කටයුතු භාර 172 වන ඉංජිනේරු සේවා බලඝණයේ නිලධාරි අණදෙන සමඟ රෝහල් ශ්‍රවණාගාරයේ දී සාකච්ඡා කළ අතර එහිදී රෝහලේ නඩත්තු කටයුතු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව විසින් රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරේ පවතින රෝහලේ නව වාට්ටු, දන්ත වෛද්‍ය අංශය, දැඩි සත්කාර ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, ශල්‍යාගාරය, මුළුතැන්ගෙය සහ පරිපාලන කාර්යාලය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් විසින් නිරික්‍ෂණය කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ, යුධෝපකරණ මාස්ටර් ජෙනරල්, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ඇතුළු 11 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරික්‍ෂණය කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පල්ලෙකැලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින යුද්ධ හමුදා හොකී ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ද නිරීක්‍ෂණය කළේය.