Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2022 17:50:32 Hours

සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් පොල් පැළ 1000 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරයි

සන්නද්ධ බුද්ධි බලකාය විසින් 75 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් පසුගිය සෙනසුරාදා (26) දින රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය තුළ පොල් පැළ 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සුරේෂ් සලේ සහභාගී විය.

දිවයින පුරා පොල් පැළ ලක්‍ෂ 5 ක් සිටුවීමේ ජාතික කර්තව්‍යයට දායකත්වය දැක්වීමේ අරමුණින් සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් මෙම ව්‍යාපෘතියට අමතරව සබන් නිෂ්පාදන ඒකකයක් මෙන්ම කොසු, කුරුඳු තෙල් සහ පොල්කටු අඟුරු නිෂ්පාදන ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් දියත් කරන ලදී.

මෙම අවස්ථාවේදී මේජර් ජෙනරල් සුරේෂ් සලේ විසින් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කළ හැකි කුඩා කර්මාන්ත ශාලාවක් මෙන්ම සමස්ත ව්‍යාපෘතිය සඳහාම කාර්යාල ඒකකයක් ද විවෘත කරන ලදී. ඉන් අනතුරුව, එතුමන් එම නිෂ්පාදන ඒකක වෙත ගොස් ඒවායේ ක්‍රියාකාරී අංශයන් පිළිබඳව ද නිරීක්‍ෂණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් රවීන්ද්‍ර කුමාර ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.