Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2022 20:50:27 Hours

ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ වෘත්තීය නිලධාරීන්ට ඇගයීම් සහතිකපත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිනාත ගේ ආරාධනයකට අනුව පෙබරවාරි මස 21 සහ 22 දිනයන්හි දියතලාවේ පිහිටි ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සිදු කළේය.

ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිනාත විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය ‘ඉඳුරාම බඳවාගත් වෘත්තීය නිලධාරි පාඨමාලා අංක - 11’ හි සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. පාඨමාලාවේ සමාප්ති උත්සවයේදී වෘත්තීය නිලධාරි පාඨමාලාව සාර්ථකව හැදෑරූ කෙඩෙට් නිලධාරින් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සිදුවිය. එහිදී, ඉඳුරාම බඳවාගත් වෘත්තීය නිලධාරින් විසින් සකස් කරන ලද කණ්ඩායම් ඉදිරිපත් කිරීමක් ද සිදුකළහ.

ඉන් අනතුරුව, ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් පුහුණු පාසල් පරිශ්‍රයේ යටිතල පහසුම් සංවර්ධනය සහ දැනට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිරික්‍ෂණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් නිහාල් සමරවික්‍රම ඇතුළු ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.