Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2022 19:39:38 Hours

යුද්ධ හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ලක් පොහොර සමාගම වෙත භාරදේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංක භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 48339 ක ප්‍රමාණයක් පසුගිය සෙනසුරාදා (19) දින එම සේනාංක මූලස්ථානයේදී රජයට අයත් සීමාසහිත ලක් පොහොර සමාගම වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි විසින් ලක් පොහොර සමාගමේ දිස්ත්‍රික් අලෙවි විධායක නිලධාරි ආර්.එම්.ඩී රත්නායක මහතා වෙත සංකේතාත්මකව මෙම කාබනික පොහොර තොගය භාරදෙන ලදී. යුද්ධ හමුදා භටපිරිස් විසින් පර්යේෂණ මට්ටමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ, 221, 222 සහ 223 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 40,000 ක් පසුගිය සඳුදා (21) දින ගෝතමීගම බලඇණි මූලස්ථාන පරිශ්‍රයේදී ලක් පොහොර සමාගම වෙත භාරදුන්හ.

141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ ගේ මඟපෙන්වීම සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් යූ.ඒ. තිලකසිරී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම කාබනික පොහොර නිෂ්පාදනය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරින්, සෙසුනිලයන් සහ සීමාසහිත ලක් පොහොර සමාගමේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ටොන් 51 ක් පෙබරවාරි මස 19 දින පොතුවිල් ප්‍රදේශයේ පිහිටි එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී ලක් පොහොර සමාගම වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාලිය අමුණුගම සහභාගි වූවේය. එමෙන්ම, 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස්, 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරීන් හා සෙසුනිලයන් මෙන්ම ලක් පොහොර සමාගමේ නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක්වූහ.