Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2022 19:58:23 Hours

‘පිච්චවනේ මහා පුෂ්ප උද්‍යානය’ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

මහා සංඝරත්නය සමඟ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආදිවාසී ජනතාව, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළු බැතිමතුන් 20000 කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් අද (26) දින උදෑසන අනුරාධපුර, තන්තිරිමලේ මාර්ගයේ ඇලයාලපත්තුව, මානිංගමුව ප්‍රදේශයේ පිහිටි ගම්පහ බවුන් පැලැස්ස විහාරස්ථානයට අයත් අක්කර 21 ක භූමි භාගයක් තුල පිච්ච පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

අනුරාධපුර අති පූජනීය රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීම සඳහා දිනපතා පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා නොකඩවා පිච්ච මල් ලබාදීම සඳහා ගම්පහ, බවුන් පැලැස්ස විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වල්පොල ගෝතම හිමිපාණන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවූ මෙම ‘පිච්චවනේ මහා පුෂ්ප උද්‍යානය’ වැඩසටහන වෙනුවෙන් නෙත් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවේ බැතිබර අනුග්‍රාහකත්වය දක්වයි.

මෙම වැඩසටහනේ, ආරම්භය සනිටුහන් කරමින් පළමු පැළ 5000 රෝපණය කිරීමේ අවස්ථාවට එක් වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආගමික වතාවත් මධ්‍යයේ පළමු පැළ කිහිපය රෝපණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය සමඟින් නෙත් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවේ සභාපති, ගරු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමන්, ඌරු වරිගේ වන්නිල ඇත්තෝ, ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් මෙන්ම තවත් බැතිමතුන් විශාල පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.

නෙත් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවේ අනුග්‍රාහකත්වය මත ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම පැළ වර්ධනය වන තුරු රැකබලාගැනීම සඳහා අවැසි තාක්‍ෂණික අවශ්‍යතාවයන් සහ ජල පහසුකම් සලස්වා එම පැළ රැකබලාගනු ඇත.

මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සහ ආදිවාසී ප්‍රධානින් සමඟ අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ සිය සතුට පළකරන ලදි.

මෙම මාහැඟි අවස්ථාව සඳහා තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමිපාණන්, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ කූරගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්, සාමණේර හිමිවරුන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ඇතුළු බැතිමතුන් 20000 කට අධික පිරිසක් සහභාගී වූහ.