Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2022 09:03:21 Hours

හමුදා හෙද විදුහලෙන් පුහුණුව ලැබු නව හෙදියන් 50 දෙනෙකු රාජකාරි සඳහා විසිර යයි

ත්‍රිවිධ හමුදාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත හමුදා හෙද විදුහලේදී තෙවසරක දීර්ඝකාලීන වෘත්තීය ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව හැදෑරූ හෙද හෙදියන් 50 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යාපන අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.පී.එන්. පතිරණ සහ තවත් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අනුරාධපුර හමුදා හෙද විදුහල වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බඳවා ගන්නා ලද ශිෂ්‍ය හෙද හෙදියන් සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ හෙද පාසල්, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හෙද හා වෛද්‍ය කටයුතු සඳහා සුදුසුකම් ලත් යුද්ධ හමුදා අධ්‍යයන කාර්ය මණ්ඩලය සමඟ අනුබද්ධව පුහුණු කරනු ලැබේ.

වර්ෂ 2018 සිට මෙලෙස වසර තුනක පුහුණුවකින් පසු ශිෂ්‍ය හෙද හෙදියන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද අතර ඔවුන් දිවයින පුරා පිහිටි හමුදා රෝහල්වල රාජකාරි භාරගැනීම සඳහා විසිර යාමට පෙර ඔවුන්ගේ අධිකාරිය සංකේතවත් කරමින් මෙම උත්සවයේ දී හිස්වැසුම් පළඳවන ලදී.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.පී.එන්. පතිරණ සහභාගී වූ අතර එම අවස්ථාවට විසිරයන හෙද හෙදියන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ. යුද්ධ හමුදාව විසින් 2001 වසරේදී හමුදා හෙද විදුහල ආරම්භ කර ඇති අතර ඊට පෙර ත්‍රිවිධ හමුදාව සඳහා හෙද හෙදියන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ හෙද විදුහල්වල පුහුණු කටයුතු සිදුකළේය.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පතිරණ මෙම උත්සවය ආමන්ත්‍රණය කරමින්, ත්‍රිවිධ හමුදාවට මනා සුදුසුකම් ලත් විනයගරුක හෙද කාර්ය මණ්ඩලයක් පුහුණු කිරීම සඳහා හමුදා හෙද විදුහලේ විදුහල්පතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය ඇගයීමට ලක් කළේය.

හමුදා හෙද විදුහලේ විදුහල්පති මේජර් (උපකරණ පාලක) කේ.ඒ. සරත්චන්ද්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ මෙම පාඨමාලාව සාර්ථකව සිදුකිරීමට යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සහ අනෙකුත් පාර්ශවයන් ලබාදුන් සහයෝගය මෙහිදි කෘතඥතාපූර්වකව සිහිපත් කළේය.

තෙවසරක් පුරාවට පැවැති මෙම ඩිප්ලෝමා පාඨමාලාව සෞඛ්‍ය අමාත්‍යංශය, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය , යුද්ධ හමුදා පුහුණු අණසක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. එම ඩිප්ලෝමා පාඨමාලාවේ දේශන සහ සායනික පුහුණු කටයුතු සුදුසුකම් ලත් යුද්ධ හමුදා අධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක මෙහෙයවීම යටතේ සිදුකෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන පළමු වසර විභාගය සාර්ථකව අවසන් කිරීමෙන් පසු එම ශිෂ්‍ය හෙද හෙදියන්ට වෘත්තීය හිස්වැසුම් පළඳවන අතර අනතුරුව එම අවස්ථාවේදීම සම්භාවනීය අමුත්තන් ඉදිරියේ ගිනිදැල් තුනක් සහිත පොල්තෙල් පහනක් අතැතිව දිවුරුම්දීමට සුදුසුකම් ලබයි.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවයට අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එන්.සී.ඩි. ආරියරත්න, අනුරාධපුර ශීක්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර, අනුරාධපුර රජයේ හෙද විදුහලේ විදුහල්පති කේ.ඒ. සුනිල් ශාන්ත යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

හිටපු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලයනල් පී. බලගල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ හිටපු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඩි.පී. පෙරේරා, හිටපු යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් සංජීව මුණසිංහ, හමුදා හෙද විදුහලේ පළමු විදුහල්පති එම්. පාවුල් මහත්මිය සහ එම විදුහලේ පළමු පරිපාලන නිලධාරි කපිතන් ඩබ්ලිව්.ඩබ්ලිව්.පී. ජයසුන්දර 2001 වර්ෂයේදී හමුදා හෙද විදුහල ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන ලදී.