Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2022 22:51:58 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක

පසුගිය දා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය එම සංචාරය අතරතුර පසුගිය බ්‍රහස්පතින්දා (10) දින මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් රණවිරුවන් 50 දෙනෙකු සුවය ලබමින් සිටින අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 1’ හි සංචාරයක නිරත වූහ.

‘අභිමංසල-1’ හි සේනාවිධායක බ්‍රිගේඩියර් ශිරාන් ඒකනායක සහ රණක්‍ෂිතයට පත් රණවිරුවකු විසින් එම පරිශ්‍රය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මැතිණිය වෙත බුලත් අතක් දී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ විවේකාගාර හා ගෘහස්ථ ක්‍රීඩාගාර නිරීක්‍ෂණය කළ අතර එම රණවිරුවන් වෙත සිදුකරනු ලබන ජල චිකිත්සක ප්‍රතිකාර හා ආයුර්වේද ප්‍රතිකාර ඇතුළු එම සුවතා නිකේතනයේ සිදුකරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ සොයාබැලුවේය.  

ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රණක්‍ෂිතයට පත් රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුවදුක් පිළිබඳව ද විමසුවේය. තම අත් පා පූජාකරමින් මවුබිමට යහපත් හෙට දිනක් උදාකරලීමේ උදාර අරමුණ පෙරදැරිව 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී කටයුතු කළ රණවිරුවන් සමඟින් කැරම් සහ චෙස් ක්‍රීඩා කිරීමට ද එතුමන් එක්විය.

පසුව, එතුමන් ‘අභිමංසල - 1’ පරිශ්‍රයේ පිහිටි පුස්තකාලය හා වාට්ටු පිළිබඳ නිරීක්‍ෂණය කළේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් එම රණවිරුවන් ඇගයීමට ලක්කරමින් විශේෂ ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සූදානම් කර තිබූ අතර එම අවස්ථාවට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

අනතුරුව, රණක්‍ෂිතයට පත් රණවිරුවන් කෙරෙහි යුද්ධ හමුදාධිපතිතුමන් දක්වන සැලකිල්ල තවදුරටත් පිළිබිඹු කරමින් එම රණවිරුවන්ගේ ආබාධිත තත්ත්වයන් හා ඔවුන්ට ඖෂධ තුලින් ලැබී ඇති ප්‍රගතිය වැනි කරුණු පිළිබඳ එම සුවතා නිකේතනයේ බලධාරින් සමඟ සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාවේදි, සුවය ලබමින් සිටින රණවිරුවන් මේ වනවිට ගෙවතු වගාව, කාබනික පොහොර නිෂ්පාදනය සහ තවත් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වී සිටීම පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් විය.

රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා ලෝකයේ මේ අයුරින් ස්ථාපිත කර ඇති එකම සනීපාරක්‍ෂක මධ්‍යස්ථාන ජාලය අභිමංසල සුවතා නිකේතන පමණක් වන අතර අභිමංසල සුවතා නි‍කේතන මේ වනවිට නවීන ප්‍රතිකාර උපකරණ සහ අනෙකුත් සියලුම උපාංගයන්ගෙන් සමන්විත වේ.

මෙම අවස්ථාවේදී, රණක්‍ෂිතයට පත් රණවිරුවන් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් අංශභාගය, මොළයට හෝ සුසුම්නාවට හානි වී ඇති, බිහිරි හෝ අන්ධ වීම වැනි තත්ත්වයන්ට මුහුණ පා සිටින එම රණවිරුවන් ත්‍රස්තවාදීන් සමඟ සටන් කර මවුබිම වෙනුවෙන් සිදුකළ අභීත කැපකිරීම සහ ඔවුන්ගේ අමරණිය වීරත්වය පිළිබඳ සිහිපත් කළේය.

වර්ෂ 2009 දී මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් අනතුරුව ඓතිහාසික අනුරාධපුර රාජධානියේ නුවර වැව අසල මනස්කාන්ත පරිසරයක යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ සිදුකරනු ලැබු ‘Brave Hearts’ ව්‍යාපෘතිය යටතේ මෙම ‘අභිමංසල - 1’ සුවතා නිකේතනය ස්ථාපිත කරනු ලැබූ අතර එමඟින් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම නේවාසික පහසුකම් ද සැලසේ.

එවකට ආරක්‍ෂක ලේකම් ධූරය හෙබවූ වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේත්, එවකට ජනාධිපති ධූරය හෙබවූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේත් මූලිකත්වය මත රජය විසින් පරිත්‍යාග කරනු ලැබූ අක්කර 5 ක භූමි භාගයක් තුළ පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් යුද්ධ හමුදාව වෙතින් ‘අභිමංසල - 1’ සුවතා නිකේතනය ස්ථාපිත කරන ලදි. එමෙන්ම, රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් 200 කට අධික රණවිරුවන් පිරිසකගේ අවශ්‍යතා වෙනුවෙන් කඹුරුපිටිය ප්‍රදේශයේ ‘අභිමංසල - 2’, පාන්ගොල්ල ප්‍රදේශයේ ‘අභිමංසල - 3’ සහ අත්තිඩිය ප්‍රදේශයේ ‘මිහිඳු සෙත් මැඳුර’ වශයෙන් සුවතා නිකේතන ස්ථාපිත කර ඇත.

මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.