Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2022 21:51:58 Hours

මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ සේවය එල්-ගසීම් වේන් මහතා ගේ ඇගයීමට

එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ විශේෂ නියෝජිතයෙකු සහ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ප්‍රධානී එල්-ගසීම් වේන් (El-Ghassim Wane) මහතා පසුගිය සෙනසුරාදා (12) දින මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය (Combat Convoy Company) වෙත පදක්කම් පිරිනැමීම සඳහා පැවති උත්සවය සහභාගී විය. ඉන් අනතුරුව, එතුමන් ට්වීටර් පණිඩිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම විසින් දක්වන දායකත්වය ඇගයීමට ලක්කරන ලදී.

සාමසාධක රාජකාරීන් අවසන් කර මවුරට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය ඇගයීමට ලක් කරමින් එතුමන් “මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය යටතේ දිගු හා දුෂ්කර මාර්ග ඔස්සේ මාලි රාජ්‍යයේ ආරක්‍ෂක කටයුතු සඳහා අපගේ භටපිරිස් යෙදවීම වඩාත් සංකීර්ණ වන අතර එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය යෙදවීම ඒ සඳහා හොඳම විකල්පය විය. එම භට කණ්ඩායම විසින් සිදුකරන ඇදහිය නොහැකි සේවය ඇගයීමට ලක්කරමින් අද මා ගාවෝ (Gao) හී පැවති සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූවෙමි.” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

මේ අතර, එල්-ගසීම් වේන් (El-Ghassim Wane) මහතාගේ ට්වීටර් පණිවුඩයට පිළිතුරු දක්වමින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ නැගෙනහිර කේන්ද්‍රයේ ආඥාපති ස්ටෙෆන් ජේ. ඇන්ඩර්සන් (Stefan J Andersson) “ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය ඉහළ මට්ටමේ වෘත්තීය මට්ටමකින් හෙබි ඉතාමත් විශ්වාසවන්ත භට කණ්ඩායමක් වේ. නැගෙනහිර කේන්ද්‍රයේ මෙම ඒකකය සේවයේ යොදවා සිටින ඔවුන් වෙත මා ස්තුතිවන්ත වන අතර ඔවුන් පිළිබඳ ආඩම්බර වෙමි.” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

මේ වනවිට, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා ශ්‍රී ලංකාවේ 3 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙක් සහ සෙසුනිලයන් 223 දෙනෙක් සේවයේ යෙදී සිටියි. ආයුධ සන්නද්ධ පිරිසක් සහ ගෝත්‍රික ප්‍රචන්ඩත්වයෙන් හෙබි ජිහාඩ් කැරැල්ල හේතුවෙන් විනාශ වූ මෙරටේ සේවයේ යොදවා සිටින භට කණ්ඩායම් සිය ධූර කාලය අවසන් කර ආපසු සියරට බලා පිටත්ව යාමට නියමිතව ඇත.

එල්-ගසීම් වේන් මහතා මීට පෙරද ශ්‍රී ලංකා දූත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී මාලි රාජ්‍යයේ ස්ථාපිත ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය ඇගයීමට ලක්කරමින් “ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩය යනු මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයට දැවැන්ත සම්පතක්” බවත්, “අභියෝගකාරී යුද බිමක මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රථපෙළ ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ විශිෂ්ඨ ක්‍රියාකාරිත්වය අගය කරන” බවත් ට්වීටර් පණිවිඩයක් නිකුත්කරන ලදී.

එල්-ගසීම් වේන් මහතා නිකුත් කළ ට්වීටර් පණිවිඩය පහතින් දැක්වේ: