Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2022 20:53:17 Hours

“යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයට අමතරව, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ද යුද්ධ හමුදාව සූදානම්” බව හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් එක් සැසියක් පසුගිය සිකුරාදා (11) දින පැවති අතර එහිදී, හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් “ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ සම්බන්ධීකරණ කටයුතු සහ නිරීක්‍ෂණය කරමින් සිටින අතර, එම නිෂ්පාදන කටයුතු සබැඳිව හැකියාවන්ගෙන් සමන්විත යුද හමුදාව වෙතින් ද ඒ පිළිබඳ බිම් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටියි. එපමණක් නොව, එ් සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හෝ නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර තොග සැපයුම් අවශ්‍යතාවයක් හෝ දුෂ්කරතාවයක් පවතින්නේ නම්, අපි එම ගැටලුවලට විසඳුම් ලබාදීමටත් සහය වේ. කළ නොහැක්කක් නොමැති අතර, අපි ධනාත්මක ස්ථාවරයකින් යුතුව ඒවාට මුහුණ දිය යුතු” බව ප්‍රකාශ කරන ලදී.

මෙම ජාතික ක්‍රියාන්විතය ‘යල’ කන්නය ඉලක්ක කරගනිමින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පවත්වමින් නිශ්චිතව ප්‍රකාශ කළ බවත් ඒ හා සබැඳි ගැටළු සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ගොවිජන විශේෂඥයින්, ගොවි ප්‍රජාවන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සමීපව සම්බන්ධ වෙමින් විසඳුම් ලබාගනී. අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කළ පරිදි, බිම් මට්ටමේ දායකයින් ආවරණය වන පරිදි තිරසාර අධ්‍යාපන සැසි පැවැත්වීම තුලින් මෙම ව්‍යාපෘතිය සාක්‍ෂාත් කරගැනිමට හැකියාව ලැබෙන අතර ඒ සඳහා යුද්ධ හමුදාව නිරන්තරයෙන් ඒ සඳහා සහය දක්වනු ලබයි. ඔවුන් හට ‘ලක් පොහොර’ පොහොර සමාගම, පොහොර ලේකම් කාර්යාලය යන ආයතන සමඟ සම්බන්ධීකරණය වීමට දිස්ත්‍රික් මට්ටමින් පහසුකම් සැලසේ. එමෙන්ම, අපගේ සම්බන්ධීකරණය සහ නිරීක්‍ෂක භූමිකාව දිගටම ක්‍රියාත්මක වන” බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (11) දින පැවති මෙම රැස්වීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බලධාරින්, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සහභාගී වූහ. එමෙන්ම, මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ දිස්ත්‍රික් මට්ටමින් පාර්ශවකරුවන් ද මෙම සැසියට එක්වූහ.

මෙම සැසියේ ආරම්භය සනිටුහන් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මැතිතුමන් විසින් සියලුම සහභාගිවන්නන් රැස්වීමට පිළිගනු ලැබූ අතර, රැස්වීමේ අරමුණ සහ විවිධ මට්ටම්වල නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශය සහ හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය එක්ව ජාතික මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීමේ වැඩසටහන දියත් කරන බවත් ‘මහ’ කන්නයේදී මතුවන ප්‍රායෝගික ගැටළු මඟහරවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. එතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් ‘හරිත කෘෂිකාර්මික සංකල්පය’ සාර්ථක කරගැනීම සඳහා සියළුම වගකිවයුතු නිලධාරින්ගේ උපරිම සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැඩි අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම මැදිහත්වීමෙන් කාබනික පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීම දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. මෙම පොහොර මෙහෙයුම් කමිටුවට දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, දිස්ත්‍රික් ගොවිජන කොමසාරිස්, හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් ඇතුළත් වේ. පොහොර නිෂ්පාදනය, ප්‍රමාණය, ප්‍රවාහනය, ගබඩා කිරීම, ගොවීන් වෙත බෙදාහැරීම සහ ඒවා භාවිතා කිරීම පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේ සම්පූර්ණ වගකීම අදාළ දිස්ත්‍රික් කමිටු වෙත පැවරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම සැසිය සඳහා යුද හමුදා ප්‍රධාන සම්බන්ධීකරණ අධීක්‍ෂණ නිලධාරි මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, භඨකාර්ය සම්පාදන ආඥාපති හා හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක බ්‍රිගේඩියර් චන්දන අරංගල්ල ඇතුළු නිලධාරින් කිහිපදෙනෙක් ද එක්වය සිටියහ.