Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2022 06:25:22 Hours

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 5 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයන් ඇරඹේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 5 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින සන්ධ්‍යාවේ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා වෛද්‍ය උපදේශකයින්, වෘත්තීකයන් සහ හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ ආරාධනයෙන් ගෞරවණිය ආරාධිතයෙකු ලෙස මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා සහභාගී වූවේය.

මෙම සමාරම්භක උත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජය මුණසිංහ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හී මාණ්ඩලික ප්‍රධානීන් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී, සමාරම්භක දේශනය පවත්වමින් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානී බ්‍රිගේඩියර් (වෛද්‍ය) ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මෙම තෙදින වැඩමුළුවේදී ප්‍රායෝගිකව ගනු ලබන මාර්ගෝපදේශයන් පිළිබඳ පැහැදිලි කළ අතර, 2016 වර්ෂයේදී ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීම සබැඳිව මතකයන් සිහිපත් කරන ලදී.

තවදුරටත් සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සාමාජිකයින්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය, පර්යේෂණ සහ නවෝත්පාදන, හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ අභ්‍යාසලාභීන් සහ උපදේශන, හමුදා සහ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනයට සහ ක්‍රියාත්මක කිරීමට දක්වන දායකත්වය, සම්පත් කළමනාකරණය, ගැටළු විසඳීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් ඇතුලත් කරමින් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය වෙතින් සඟරාවක් ප්‍රකාශණය කිරීම සබැඳිව ඉදිරියට ගනු ලබන පියවරයන් පිළිබඳව පැහැදිලි කරන ලදී.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේදී සිදුකරනු ලබන අධ්‍යයන සැසිවාරයන් සංග්‍රාමික වෛද්‍ය විද්‍යාව, දිය යට සහ ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව ඇතුළු ත්‍රිවිධ හමුදාවන් විසින් සිදුකරනු ලබන හමුදා වෛද්‍ය විද්‍යාවේ ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත වේ. එමෙන්ම, හමුදා වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී අංශයක් ලෙස සැලකෙන බෝ නොවන රෝග පිළිබඳ බොහෝ යාවත්කාලීන කිරීම්වලින් සමන්විත පූර්ව විද්‍යාත්මක සැසියක් ද මෙම වැඩමුළුවේදී පැවැත්වීමට නියමිතව ඇත. එම සැසිවාරයන් වලදී කඩදාසි සහ දැන්වීම් භාවිතා කරමින් සිදුකරන ඉදිරිපත් කිරීම් තුලින් වාද, විවාද ඇතුළත් සැසිවාරයන් ද පැවැත්වීමට නියමිතව ඇත. තවද, මෙම සැසිවාරය සඳහා හමුදා වෛද්‍ය විද්‍යාව, හමුදා දන්ත වෛද්‍ය විද්‍යාව සහ හමුදා මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මන්ත්‍රණය බැගින් ඇතුළත් වන බව ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානී සඳහන් කළේය.

මෙම සැසිවාරයේදී සංග්‍රාමික වෛද්‍ය විද්‍යාව, කිමිදුම් සහ ජලාශ්‍රිත වෛද්‍ය විද්‍යාව, ගුවන් සේවා වෛද්‍ය විද්‍යාව, රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි වෛද්‍ය විද්‍යාව, ස්නායු ආබාධ, විශමතා ආදී එක් එක් විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳ පොදු වෛද්‍ය ප්‍රතිපත්ති අධ්‍යනය කිරීමට අපේක්‍ෂා කෙරේ.

එමෙන්ම, මෙම සැසිවාරය සඳහා සහභාගී වන වෛද්‍ය ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය සහභාගිවන්නන් පොදු රෝග, වෛරස, මතුවෙමින් පවතින වෛද්‍ය තර්ජන ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ යාවත්කාලීන කිරීම්, රෝග විනිශ්චය පිළිබඳ වූ එක් එක් පැතිකඩයන් සහ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදයන් වැනි කරුණු ද මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.

වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රවලට අදාළ අනෙකුත් විද්‍යාලවලින් සහභාගී වූ වෘත්තිකයන් ඇතුළු තවත් සහභාගිවන්නන් 250 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට සැසිවාරයන් සඳහා සහභාගී වෙති. රටවල් 120 ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය ලබාගැනීම මේ සබැඳිව වැදගත් සන්ධිස්ථානයක් වන අතර, එය ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ ඉදිරි කටයුතු සඳහා උත්ප්‍රේරකයක් වනු ඇත. ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය විවිධ ප්‍රවීණතා ක්ෂේත්‍රයන් සමඟින් සිය ඵලදායී සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබයි.

මෙම අවස්ථාව අමතමින් ලලිත් වීරතුංග මහතා ලෝකයේ වෙනත් කිසිදු රටකට නොදෙවනි එන්නත් කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සිදුකළ කැපවීම සහ කාර්යභාරය ඇගයීමට ලක් කරමින් “අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් උපකාර කිරීමට සන්නද්ධ හමුදාවන්ට හැකියාව සහ උනන්දුව ඇති බැවින් එය එක් එක් බලප්‍රදේශවල සිවිල්-හමුදා සහයෝගීතා වැඩසටහනක් ලෙස දිගටම පැවතිය යුතු” බව ප්‍රකාශ කළේය.

මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා මෙම අවස්ථාවේ සිය අදහස් දක්වමින් පළමු අවස්ථාවේ රට කොවිඩ් - 19 වෛරසයෙන් පීඩාවට පත් වූ අවස්ථාවේ සහ ඉන් ඉදිරියටත් එම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා හමුදාව දැක්වූ දායකත්වය ලෝකයටම ආදර්ශයක් වන බව ප්‍රකාශ කරන ලදී. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් (වෛද්‍ය) ආර්.ඒ.ඒ.ඩබ්ලිව්.විජේසිංහ විසින් ස්තූති කථාව සිදුකරන ලදී.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෘත්තීය ආයතනයකි. එය ආසන්න වශයෙන් වෛද්‍යවරුන් 400 ගේ පමණ සාමාජිකත්වයෙන් සමන්විත මෙම ආයතනය රටේ විශාලතම වෛද්‍ය වෘත්තීය ආයතනයන්ගෙන් එකකි. ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ විශේෂත්වය වන්නේ සියලුම හමුදා උපදේශකයින් සහ විවිධ විශේෂඥ වෛද්‍යවරුන් එහි සාමාජිකත්වය ගෙන සිටීමයි.

වර්ෂ 2016 මැයි මාසයේදී මෙම විද්‍යාලයේ ආරම්භයේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයන් තුලින් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර, හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වය අත්කර ගැනීමට නොපසුබට උත්සාහයක් ගෙන ඇත.