Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2022 17:57:23 Hours

‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රගතිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට

රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඓතිහාසික නුවරවැව ඉස්මත්තේ ස්ථාපිත කර ඇති අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ රණවිරුවන් වෛද්‍ය විශේෂඥයින් හා භෞතචිකිත්සකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ සුවය ලබමින් සිටිති.

එසේ සුවය ලබන වීරෝදාර රණවිරුවන් මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදනය, ඉදල් සහ කොසු නිෂ්පාදනය, අල වගාව, එළවලු සහ ඔසුපැළ වගාව වැනි ව්‍යාපෘතීන්හී නිරත වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය බ්‍රහස්පතින්දා (10) දින ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූ අතර එහිදී, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සිය වටිනා කාලය ඵලදායි ලෙස කැපකරමින් මේ වනවිට සිදුකරමින් සිටිනු ලබන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පැහැදීමට පත්විය.

සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය එක්ව රණක්‍ෂිතයට පත් රණවිරුවන් විසින් නිෂ්පාදනය කළ කොසු, ඉදල් සහ ගෘහාශ්‍රිත භාණ්ඩ පිළිබඳ නිරීක්‍ෂණය කරන ලදී. (මුල්පුවත බලන්න)

වසර ගණනාවක් පුරාවට සිය සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරමින් සුවය ලබන මෙම රණවිරුවන් අතරින් තවත් රණවිරුවන් පිරිසක් මඤ්ඤොක්කා, බතල හා පලා වර්ග ආදිය වගාකරමින් විශාල ප්‍රගතියක් ලබා ඇති අතර ඒ පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අවධානය යොමුවිය.

අනුරාධපුරයේ ස්ථාපිත මෙම සුවතා නිකේතනය තුලින් ගෘහස්ථ මට්ටමින් ලබාගත නොහැකි සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත අත්‍යවශ්‍ය වන විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පහසුකම් සැලසේ.

මෙම මධ්‍යස්ථානය තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අයවලුන් වෙති.