Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2022 10:50:47 Hours

කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් සමාලෝචන සාකච්ඡා පැවැත්වේ

හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ‘මානව හිතවාදී යුද්ධ හමුදාව’ සංකල්පයට අනුකූලව කාබනික පොහොර නිෂ්පාදන කටයුතුවල සම්බන්ධීකරණය හා ප්‍රවර්ධනය කිරීමේ කටයුතු පිළිබඳ මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් ප්‍රගති සමාලෝචන සාකච්ඡා පවත්වනු ලබයි.

ඊට සමගාමීව, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තවත් එක් සාකච්ඡාවක් පසුගිය දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරින්, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව, ප්‍රාදේශීය ලේකම්වරුන් කිහිපදෙනෙක්, 111 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

එහිදී, යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන පිළිබඳ 11 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් නිර්දේශයන් සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධ සැලසුම් සහ ඉදිරි කටයුතු පිළිබඳ පැහැදිලි කරන ලදී.

තවද, දිස්ත්‍රික් සම්බන්ධීකරණ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බඳුල්ල මෙන්ම බිඳුනුවැව ප්‍රදේශවලදී ද තවත් මෙවැනි සමාලෝචන සැසි සාකච්ඡාවන් පැවැත්වීය.

මෙම වැඩසටහන්හිදී, දේශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සිදුකරන ලදී.

මුලතිව් ප්‍රදේශයේ ගොවීන් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ තවත් එක් ප්‍රායෝගික සැසියක් 2022 ජනවාරි මස 31 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනාව විසින් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන මුලතිව් දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කළමණාකාර කේ. කීර්තිකාන් මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම සාකච්ඡාව සඳහා 642 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මේ අතර, 51 වන සේනාංකයේ සේනාංකාධිපති සහ මෙම වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් ෂම්මුගරාසා සිවශ්‍රී මහතාගේ සහභාගීත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ‘හරිත කෘෂිකර්මාන්තය’ පිළිබඳ සාකච්ඡා කිරීමේ සැසියක් පසුගිය බ්‍රහස්පතින්දා (03) දින 51 වන සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.

මෙම සාකච්ඡාවේදී, ‘යල’ කන්නය කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ‘හරිත කෘෂිකර්මාන්තය’ වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවිය යුතු කාර්යභාරයන් පිළිබඳ සාකච්ඡා කරන ලදී.

ඉන් අනතුරුව, 51 වන සේනාංකයේ කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන පරිශ්‍රයේ සංචාරයක නිරත වූ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්තුමිය, ‘හරිත කෘෂිකර්මාන්තය’ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දක්වන දායකත්වය පිලිබඳ සිය කෘතඥතාවය පුදකරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා 551 සහ 515 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහ 51 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් ද සහභාගී වූහ.